Wednesday, October 30, 2019

තමන්ටම වෙන්වෙච්ච කාමරයක් මොකටද?


ස්ත්‍රිය සහ සාහිත්‍ය පිළිබඳ කුමක් ලියන්න දැයි සිතමින්, කල්මරමින් සිටින විට මගේ මතකයට ආවේ වර්ජිනියා වුල්ෆ් (Virginia Woolf) ය. ඇය විසින් එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේදී ශිෂ්‍යාවන්ට පවත්වන ලද දේශණ දෙකක් ඇසුරින් 1929 වසරේදී පළ කරන ලද A Room of One's Own නම් කෘතිය ස්ත්‍රිය සහ සාහිත්‍ය පිළිඹඳ කතිකාවේදී මගහැර යා නොහැක්කකි. විසිවන සියවස දක්වා සාහිත්‍ය ලෝකය තුල ස්ත්‍රිය සහ ඇය කේන්ද්‍ර කරගනිමින් ගොඩනැගුනු සියලුම සාහිත්‍යමය මැදිහත්වීම් වඩා පුළුල්ව සාකච්ඡාවට භාජනය වූ අවස්ථාවක් එදා මෙදා තුර යලි අපට හමු වන්නේ නැති තරම්ය.
ස්ත්‍රීන් සාහිත්‍යකරණයේ යෙදෙන්නේ නම් මුදල් සහ තමන්ටම කියා කාමරයක් ඇයට තිබිය යුතුය

A woman must have money and a room of her own if she is to write fiction
යන ඉතා ප්‍රචලිත ආප්තෝපදේශය අපට හමු වන්නේ වුල්ෆ්ගේ මේ ග්‍රන්ථයෙනි. ඉතා ප්‍රචලිත යයි කීවාට ලංකාවේ සිංහල පාඨකයින් බහුතරයක් වර්ජිනියා වුල්ෆ්ගේ කෘති කියවා නැතිවාට සැක නැත. විසිවන සියවසේ බිහිවූ ප්‍රමුඛතම නූතනවාදී ලේඛිකාවක් ලෙස ලෝක සාහිත්‍යයට එක්වන ඇයගේ නවකතා අතර To the Lighthouse (1927), Mrs Dalloway (1925), A Haunted House (1921), The Waves (1931), Orlando (1928), Mrs Dalloway in Bond Street (1923), Between the Acts (1941), The Duchess and the Jeweller (1938), The New Dress (1927), The Mark on the Wall (1917) ආදී ඉතා ජනප්‍රිය සාහිත්‍ය කෘති මෙන්ම කෙටි කතා, නාට්‍ය, ශාස්ත්‍රීය ලේඛණ ගණනාවක් තිබුනද ඇයගේ කෘතීන් සිංහල භාෂාවට පරිවර්තනය නොවූයේ ඇයි දැයි මා නොදනිමි. ඇගේ කෘති පරිවර්තනය නොවූවාට ඇගේ උමතුව සහ සියදිවි නසා ගැනීම ආදී වූ ඕපාදූප සිංහල පුවත්පත් පිටු කීපයක විකිණී තිබෙනු නම් දුටිමි. නමුත් ඇගේ සැමියා වූ ලෙනාඩ් වුල්ෆ්(Leonard Woolf)ගේ ප්‍රථම නවකතාව වන Village in the Jungle කෘතිය 1913 වර්ෂයේදී ප්‍රකාශයට පත් වී ඉන් වසර තිස් හයකට කට පසුව වර්ෂ 1949 දී බැද්දේගම නමින් සිංහලයට පරිවර්තනය වී අද දක්වාම ලංකාව තුල ඉතා ජනප්‍රිය කෘතියක් වී තිබෙන්නේ වික්ටෝරියානු සදාචාරවාදයට ගැති වූ ලංකාව ගැන ඔහු එම පොත ලිවූ නිසා වන්නට ඇතැයි මම සිතමි.

වර්ජිනියා වුල්ෆ් පමණක් නොව එදා මෙදා තුර සාහිත්‍යකරණයේ නියුතු ලෝක ප්‍රකට සාහිත්‍යකාරියන්, ලේඛිකාවන් බොහෝ ප්‍රමාණයක් පිළිඹදව අප හාංකවිසියක් හෝ දන්නේ නැති වීම, මෙන්ම ඔවුන්ගේ සාහිත්‍ය සහ ශාස්ත්‍රීය ප්‍රකාශණයන් ඇතුලත් කෘති සිංහලයට පරිවර්ථනය නොවීමෙන් ඒවා සිංහල පාඨකයාට පරිහරනයේ අවස්ථා පවා ඉතා අල්ප වීම අහම්බයන් වන්නේ දැයි මම නොදනිමි. නමුත් වුල්ෆ්ගේ මෙම කෘතිය විමසීමේදී ඒ සමග ලාංකීය ස්ත්‍රිය සහ සාහිත්‍ය පිළිඹද කරුණු ඉදිරිපත් කිරීමට උත්සාහ නොකිරීමට මම සිතුවෙමි. වසර දෙතුන් දහසකට පෙර සිටි සාහිත්‍යකරුවන්ගේ පුරුෂෝත්තමවාදී මැජික් සංදර්ශණ වලින් ගිනි කන වැටී, අදෝනා නැගෙමින් ඇති ලාංකීය සාහිත්‍ය පිළිඹදව නැවත සිතීමටත්, සාහිත්‍යකරණයේ යෙදීම දඩුවම් විදිය යුතු වරදක්ව ස්ත්‍රීන් මර්ධනය කළ අතීතය යලි සිහිපත් කරවමින් සාහිත්‍යකරුවන් මාස ගණන් සිරගත කර තබන රාජ්‍ය සංස්ථාව කෙතරම් භයංකර ප්‍රතිවිපාක සමාජයට අත්කර දෙනු ඇත්දැයි යලිත් සිතීමටත්, වුල්ෆ් අදින් වසර අනූවකට පෙර සාහිත්‍යකරණය හදාරමින් සිටි ශිෂ්‍යාවන් සමග කළ මෙම සාඛච්ඡා වැදගත් වනු ඇති බව පමණක් මම සිතමි.

ස්ත්‍රිය සහ සාහිත්‍ය ගැන කතාවකට තමන්ටම අයිති වූ අගුළු දැමිය හැකි කාමරයක් ගැන කතා කිරීම අදාල වන්නේ කෙසේදැයි ඔබ සිතනු ඇත. වුල්ෆ් ඒ පිළිඹදව කරන අදහස් දැක්වීමේදී මුලින්ම නගන පැනය වන්නේ ස්ත්‍රිය සහ සාහිත්‍ය යන වචන මගින් අදහස් වෙන්නේ කුමක්ද යන්නය. එය හුදෙක් Fanny Burney, Jane Austen, Charlotte Brontë, Miss Mitford, George Eliot, Mrs Gaskell වැනි සාහිත්‍යකාරියන්ගේ නිර්මාණ ගැන වචන කිපයක් කතා කිරීමෙන් සහ Haworth Parsonage කෞතුකාගාරය ගැන කතා කිරීමෙන් ඔබ්බට යන දෙයක් බව ඇය සදහන් කරයි.

වුල්ෆ් ඉහත මතක් කරන්නේ ලොව මෙතෙක් බිහි වූ අග්‍රගන්‍ය සාහිත්‍ය කෘති ලෙස සැලකෙන අද දක්වාම ජනප්‍රියව පවතින නිර්මාණයන් ලොවට දායාද කළ කාන්තාවන්ය. එබැවින් ඔවුන්ගේ නිර්මාණ මොනවාදැයි කියා ඉදිරිපත් කිරීම වැදගත් වේයයි සිතීමි. Fanny Burney (1752-1840): ඇය Frances Burney නමින්ද හදුන්වා ඇති අතර විවාහයෙන් පසු Madame d'Arblay නම් විය. ඇගේ Evelina (1778) ඉතාම ජනප්‍රිය සාහිත්‍ය කෘතිය වේ. Jane Austen (1775-1817) ගේ Sense and Sensibility (1811), Pride and Prejudice (1813), Mansfield Park (1814) and Emma (1816) ඉතා ජනප්‍රිය කෘතීන් වන අතර ඒවා පසු කලෙක සිනමා නිර්මාන වලට පවා පාදක කර ගන්නා ලදී. Miss Mitford (1787-1855): ඇය Mary Russell Mitford නමින්ද හදුනවයි. ඇගේ ඉතා ජනප්‍රිය කෘතිය වන්නේ 1820/ 1830 කාලයේ ප්‍රකාශිත Our Village නම් ගැමි ජීවිතය පිළිඹඳ දළ සටහන් 100ක් ඇතුලත් ග්‍රන්ථයයි. George Eliot (1819-1880): ඇය Mary Ann Evans, Mary Anne හෝ Mar නමින්ද හඳුන්වයි. ඇගේ ජනප්‍රිය සාහිත්‍ය කෘති ලෙස Adam Bede (1859), The Mill on the Floss (1860), Silas Marner (1861), Romola (1862/63), Middlemarch (1871/72), Daniel Deronda (1876) නම් කළ හැකිය. Mrs Gaskell (1810-1865): ඇය Elizabeth Cleghorn Gaskell නමින්ද හදුන්වා ඇති අතර ඇය රචිත Cranford (1851/53), North and South (1854/55), and Wives and Daughters (1865) ආදී නවකතා ජනප්‍රිය කෘතින් ලෙස සැලකේ.

වුල්ෆ් සදහන් කරන Haworth Parsonage කෞතුකාගාරය ස්ත්‍රිය සහ සාහිත්‍ය පිළඹඳ අපගේ කතිකාව සාහිත්‍යකාරියන් සහ ඔවුන්ගේ සාහිතය පිළිඹඳ කතා කිරීමෙන් ඹබ්බට දිව යන බවට හොදම ශාක්ෂියක් වන බැවින් ඒ පිළිඹඳවද යමක් කිව යුතු යයි හැගීමි. මෙම කෞතුකාගාරය 19 වන සියවසේ ඉතා ජනප්‍රිය සාහිත්‍යකාරියන් වූ Charlotte (1816–1855), Emily (1818–1848), Anne (1820–1849) යන බ්‍රොන්ටේ සහෝදරියන් තිදෙනා විසූ සහ සාහිත්‍යකරණයේ නියුතු නිවස වන අතර  පසු කලෙක එය කෞතුකාගාරයක් සහ පුස්තකාලයක් බවට පත් විය. (එය එංගලන්තයේ පැරණිම සාහිත්‍ය සංගම් වලින් එකක් ලෙස සැලකේ.) බ්‍රොන්ටේ සහෝදරියන් තිදෙනා විසින් රචිත Jane Eyre, Wuthering Heights, The Tenant of Wild Fell Hall අග්‍රගණ්‍ය සාහිත්‍ය කෘති ලෙස පිළිගැනෙන අතර අදටත් එකසේ ජනප්‍රියය. නමුත් මේ සාහිත්‍යකාරියන් තිදෙනා ඉහත නිර්මාණ මුලින්ම ප්‍රකාශයට පත්කර ඇත්තේ සමකාලීන බොහෝ සාහිත්‍යකාරියන් සේම Currer, Ellis සහ Acton Bell යන පිරිමි අන්වර්ත නම් වලිනි.

සාහිත්‍යකරණයේ යෙදුන පිරිමින් පවා අන්වර්ත නම් භාවිතා කරමින් නිර්මාණකරනයේ යෙදුන අවස්ථා ලෝක ඉතිහාසය තුල ඕනෑ තරම් හමු වන බවට කෙනෙකුට තර්ක කළ හැක. ඔව්.. එය සත්‍යයකි. නමුත් ඉහත සදහන් කරන ලද අවස්ථා ඇතුලු බොහෝ අවස්ථා වලදී ස්ත්‍රීන් ස්ව කැමැත්තෙන් තම අනන්‍යතාවය සගවා ගත්තා නොව, තම නිර්මාණ සමාජගත කිරීමට අවකාශ නොලැබෙන විට ඒ සදහා විකල්පයක් ලෙස පිරිමි නම් භාවිතා කරනු ලැබුවා හෝ භාවිතා කිරීමට යෝජණා කරනු ලැබුවා හෝ බල කරනු ලැබුවා වූ බවට වන ඉතිහාසගත සාක්ෂි ඕනෑ තරම් තිබේ. ඒ අතර Charlotte Brontë ට පිරිමි නමක් වෙන Currer Bell භාවිතා කිරීමට සිදුවීම, Mary Ann EvansGeorge Eliot ද, Amantine Lucile Aurore DupinGeorge Sand ද යන පිරිමි නම් භාවිතා කිරීමට සිදුවීම සාහිත්‍යකරනයේ ශ්‍රේෂ්ඨත්වය මුලුමනින්ම පුරුෂමය අනන්‍යතාවයන් තුල සගවා දැමීමට සිදුවීමේ ඛේදවාචකයට සාහිත්‍යකාරියන් මූණ දුන් අවස්ථා වේ.
වුල්ෆ් මෙසේ ප්‍රකාශ කරයි,

නිර්නාමිකත්වය ඔවුන්ගේ ලේ වලට පවා කා වැදී තිබුණා.
Anonymity runs in their blood.

වර්ජිනියා වුල්ෆ් 1929 තරම් ඈතක මතුකරන මෙම කාරණා අතීතය පමණක් යයි කියා කෙනෙකුට බැහැර කළ හැකිද යන ගැටලුව ඇති වන්නේ මිනිස් සමාජ විඥානය තුල මුල් බැසගත් මෙවැනි සමහර සංකල්ප වරින් වර තවමත් මතු වෙමින් තිබෙන බැවිනි. සාහිත්‍යකාරියන්ට තම ස්ත්‍රී අනන්‍යතාවය සඟවාගැනීමට සිදුවූ බවට මෑත කාලීන ඉතාමත්ම ජනප්‍රිය අවස්ථාව හමුවන්නේ 1997 වසරෙනි. එනම් Joanne Rowling විසින් රචිත හැරී පොටර් කතා පෙළේ පළමු කතාව වන The Philosopher's Stone පළකිරීමේදී ඇයට J. K. Rowling යන ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය හෙලි නොවෙන අන්වර්ත නාමය භාවිතා කිරීමට සිදුවූ අවස්ථාවයි.

ස්ත්‍රිය සහ සාහිත්‍ය පිලිඹද කතිකාව එම වචන වල ශබ්ධමය සහ අර්ථමය නිරූපිතය තරම් සරළ නොවන බව වුල්ෆ් අපට මතක් කර සිටියි. ස්ත්‍රිය සහ සාහිත්‍ය යන්න; ස්ත්‍රීන් සහ ස්ත්‍රීන් යනු කවුරුන්ද යන වග හෝ, එය ස්ත්‍රීන් සහ ස්ත්‍රීන් විසින් සිදුකරන ප්‍රබන්ධ සාහිත්‍ය හෝ, ස්ත්‍රීන් සහ ස්ත්‍රීන් ගැන ප්‍රභන්ධ කරන ලද සාහිතය හෝ, ඉහත සියල්ල මිශ්‍ර වූ අදහසක් ලෙස සැලකීමට කෙනෙකුට හැකිවීම පිළිඹදව ඇය දීර්ඝව කතාකරනු ලබන අතර, එමගින්, සාහිත්‍යකරණයේ යෙදීමට නම් ගැහැණියකට මුදල් සහ ඇගේම කාමරයක අවශ්‍යතාවය පිළිඹද ඇගේ ප්‍රකාශයට ඇති වලංගු භාවය ගැන ඇය විස්තර කරනු ලබයි.

එසේම සමස්ථ කෘතිය පුරාම තමන්ටම අයිති වූ කාමරයක් (A Room of One's Own) යන්න ගොඩනැගිල්ලක භෞතිකව ලබා ගන්නා කාමරයක් යන වචනමය අර්ථයට එහා ගොස් සාහිත්‍යය මුලුමනින්ම තමන්ගේ උරුමයක් කොට ගැනීමට බලහත්කාරී ලෙස ඉතිහාසය පුරා උත්සාහයක යෙදුනා වූ පිරිමි සමාජයට අභියෝගකරමින්, ස්ත්‍රීන් තමන්ටත් සාහිත්‍ය තුල උරුම විය යුතුව තිබූ, අහිමි කළා වූ, එසේම ලබා ගත යුතු වූ අවකාශය පිළිඹදව සාකච්ඡා කිරීමක් දක්වා පුළුල් අර්ථයකින් ROOM යන වචනය වුල්ෆ් භාවිතා කර ඇති බව පෙනේ.


ස්ත්‍රීන් පිරිමින්ගේ දේපළක්ව එසේත් නැතිනම් නොවැදගත් හෝ නොසලකා හැරි දෙවෙනි පෙළ මනුශ්‍යෙයක්ව මුලුමනින්ම වහල් භාවයක් උරුම කරගනිමින් ජීවත්වීමට සිදුවූ අතීතයත්, ඉන්පසු යුග වලදී නීතිය, සමාජ සම්මත හා චාරිත්‍ර වාරිත්‍ර සමග බැදී, එම වහල් භාවයම විවිධ ස්වරූප තුල විකාශනය වූ, සහ තවමත් විකාශනය වෙමින් ඇති බව අපි කවුරුත් දනිමු. වුල්ෆ් ජීවත් වූ 1882 සිට1941 කාල වකවානුව ගතහොත් ඇය සාහිත්‍යකරණයට පිවිසෙන්නේ සමාජය තුල ස්ත්‍රීන්ද සමාන මනුශ්‍යයින් ලෙස පිළි ගැනීමට බල කෙරුණු, සාමාජීය, දේශපාලනික සහ මූලික මිනිස් අයිතිවාසිකම් දිනා ගැනීම සදහා වූ ස්ත්‍රීන්ගේ අරගල මධ්‍යයේය. එබැවින් ඇගේ නවකතා, නාට්‍ය සහ ශාස්ත්‍රිය ලිපි බොහොමයක සමකාලින ස්ත්‍රීන්ගේ ජිවිතයේ අරගලය නිරූපනය වන අතරම ඇය සෑම විටම ලිංගිකත්ව සවිඥානිකත්වයකින් (sex-consciousness)  තම නිර්මාණකරනය භාවිතයට ගෙන ඇති බව පෙනේ.

මම කල්පනා කළා සමහර ප්‍රසිද්ධ නවකතා ගැන නැවත සිතීමට. ඒවා එවාටම ගැලපෙන ආකාරයේ හැඟීම් වලින් ආරම්භ වේ. නමුත් එම හැඟීම එකවරම අනෙකුත් හැගීම් සමඟ මුසු වේ. මක්නිසාද යත් එම හැගීම් වල 'හැඩය' සෑදී ඇත්තේ ගලින් ගල තබා හැදෙන සම්බන්ධතාවයන්ගෙන් නොව, මිනිසා හා මිනිසා අතර ඇති සම්බන්ධයෙනි. එබැවින් නවකතාවක් අප තුළ ආරම්භ වන්නේ සියලු ආකාරයේ ප්‍රතිවිරෝධී සහ විරෝධාකල්පික හැඟීම් වලින්ය. එලෙස ජීවිතය, ජීවිතය නොවන දෙයක් සමඟ ගැටෙයි. එහෙත් එහි ජීවිතයද ඇති බැවින් අපි එය ජීවිතය යැයි තීරණය කරමු.


1876-1962 කාලයේ විසූ ඉතිහාසඥයෙක් මෙන්ම සාශ්ත්‍රඥයෙන් වූ මහාචාර්ය ට්‍රෙවලියන් (George Macaulay Trevelyan)විසින් සාහිත්‍ය කෘති වල නිරූපිත ස්ත්‍රිය පිළිඹද දක්වන නිගමනයන් වුල්ෆ් ගෙන හැර දක්වයි. 

ෂේක්ස්පියර්ගේ හෝ දහහත්වන සියවසේ අව්‍යාජ මතක සටහන් වන වර්නිස් සහ හචින්සන් වැනි අයගේ නිර්මාණවල කාන්තාවන්ට තමන්ගේම වූ පෞරුෂත්වයක් හා අනන්‍යතාවයක් උවමනා වූ බවක් නොපෙනේ.


'neither Shakespeare's women nor those of authentic seventeenth-century memoirs, like the Verneys and the Hutchinsons, seem wanting in personality and character.


නිසැකවම, කෙනෙකුට ක්ලියෝපැට්රාට ඇයගේම වූ මාර්ගයක් තිබුණු බවත්, මැක්බත් ආර්යාවට ඇයගේම උවමනාවක් තිබුණා යනුත්, රොසලින්ඩ් ආකර්ශනීය දැරියක් යයිද කිව හැකිය. නමුත් ඉතිහාසය පුරා සියලුම සාහිත්‍යවල නිරූපිත ගැහැණීය යනු හුදෙක් එම කෘතීන් තුල පමණක් ආලෝකය දී නිවී යන පන්දමක් වැනි යයි වුල්ෆ් මතක් කරයි. ක්ලයිටෙම්නෙස්ට්‍රා, ඇන්ටිගනී, ක්ලියෝපැට්රා, මැක්බත් ආර්යාව, ෆෙඩ්‍රේ, ක්‍රෙසීඩා, රොසලින්ඩ්, ඩෙස්ඩෙමෝනා, මෙන්ම සියලුම නාට්‍යද, ඉන් පසුව හමුවන ගද්‍ය රචකයන්ගේ මිල්ලමන්ට්, ක්ලාරිස්සා, බෙකී ෂාප්, ඇනා කරෙනිනා, එමා බෝවරි, මැඩම් ඩි ගුර්මැන්ටෙස් ආදී නිර්මාණවල නිරූපිත ගැහැණුන් විසින් සැබෑ කාන්තාවන්ගේ පෞරුෂත්වය හා අනන්‍යතාවයේ අඩු බවක් කිසිසේත්ම සිහිපත් නොකරන බව වුල්ෆ් මතක් කරයි.

ඇත්ත වශයෙන්ම, පිරිමින් විසින් ලියන ලද ප්‍රබන්ධයන් හැර සැබෑවටම ස්ත්‍රියක් කියා කෙනෙකු නොසිටියා නම්, යමෙකු ඇයව ඉතා විවිධාකාර, වීරෝදාර සහ තුච්ච, අලංකාර සහ නින්දිත, සුන්දරත්වයේ අනන්තය හා බිහිසුණු, පිරිමියෙකු තරම් ශ්‍රේෂ්ඨ, සමහරුන්ට අනුව ඊටත් වඩා ශ්‍රේෂ්ඨ අතිශයින්ම සුවිශේෂී පුද්ගලයකු යැයි සිතනු ඇත. නමුත් ඒ ප්‍රබන්ධයේදී හමුවන කාන්තාව පමණී. මහාචාර්ය ට්‍රෙවලියන් කියූ පරිදිම, යතාර්ථයේදී ඇයව සිරකර, පහර දී, කාමරයක මුල්ලකට තල්ලුකර දමා තිබුණු බව වුල්ෆ් පෙන්වා දෙයි.

එසේම එම නිර්මාණ වල ඉතා විචක්ෂණශීලී, සංයුක්ත ජීවයක් මතු වී පරිකල්පනීය ලෙස ඇය ඉහළම වැදගත්කමක් දරන විට ප්රායෝගික ලෝකය තුල ඇය කිසිසේත්ම නොවැදගත් ය.

ඇය කාව්‍ය තුල පිටුවෙන් පිටුවට සැරිසැරුවද, ඉතිහාසය තුල අපට හමුවූයේ නැත.

She pervades poetry from cover to cover; she is all but absent from history.



ප්‍රබන්ධය තුල ඇය රජවරුන්ගේ සහ ජයග්‍රාහකයන්ගේ ජීවිතවල ආධිපත්‍යය දරයි. නමුත් ඇත්ත වශයෙන්ම දෙමවුපියන්ගේ බල කිරීමට ඇගේ ඇඟිල්ලට මුද්දක් දැමූ ඕනෑම කොල්ලෙකුගේ වහලෙකි. වඩාත් ආනුභාසම්පන්න වචන, වඩාත් ගැඹුරු සාහිත්‍යයමය සිතුවිලි ඇගේ තොල් වලින් වැටේ. නමුත් සැබෑ ජීවිතයේ දී අකුරක්වත් කියවීමට අපහසු වූ, යාන්තමින් කතා කරගත හැකි වූ අතර මුලුමනින්ම ඇගේ සැමියාගේ දේපළ විය. එලෙස එකල ස්ත්‍රීන් යනු කවුරුන්දැයි කිසිවකු ඇසුවොත් දිය හැකි ගැලපෙනම පිළිතුර ඇය නූගත් සහ දුප්පත් මනුශ්‍යෙයක් කියාය. නූගත්කම සහ දුප්පත්කම එකල සිටි වඩාත්ම ධනවත් සහ වංශවත් පෙළපත් වල ගැහැණුන්ගේ සිට පහලම සමාජ මට්ටමේ ගැහැණිය දක්වා පොදු සාධකයක්ව පැවති බව අපි දනිමු.

එකල ස්ත්‍රීන්ට අධ්‍යාපනය අකැප දෙයක් වි තිබුණේය. ඉතා ධනවත් මෙන්ම වංශවත් පවුලක ඉපදුනු වුල්ෆ්ට පවා ඇගේ පියා අධ්‍යපනය ලබා නොදුන් අතර ඇගේ සහෝදරයා පමණක් පාසල් යවන ලදී. විශ්වවිද්‍යාල ස්ත්‍රීන්ට සැලකූ අන්දම ගැන හෙලිදරව් කරන ඇය ශිෂාවන්ට පමණක් එකල තිබූ තණකොල පෑගිමට තහනම් වූ නීතිය ගැන කතා කරයි. සියවස් ගණනක ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවන්ගේ කෘති ඉතා ආරක්ෂිතව තැන්පත් කොට තිබෙන, ඉතා දුර්ලභ සාහිත්‍ය කෘති වල මුල් අත් පිටපත් පවා සුරැකිව තබා තිබෙන විශ්වවිද්‍යාලයේ පුස්තකාලයට පිරිමි ශිෂ්‍යෙයක් සමග හෝ පීඨාධිපතිගේ අත්සනින් යුතු ලිපියක් හෝ නැතිව ශිෂ්‍යාවන්ට ඇතුලු වීමට නොහැකිවීම ආදී ස්ත්‍රීන්ට පමණක් බලපෑ නීති විසින් ස්ත්‍රීන් මත පැටවූ පීඩනයේ වෙහෙස පිළිඹදව ඇය කතා කරයි. ගැහැණුන්ට මුල් කාලයේ මුදල් ඉපයීම කෙසේවත් නොකල හැකි දෙයක්ව තිබුන බව අපි දනිමු. මුලු ජීවිත කාලයම දරුවන් විශාල ප්‍රමාණයක් හදන විට කිසිසේත්ම මුදල් ඉපයීමට ගැහැණියට කාලයක්ද නොවුනු බව නොකිව මනාය. නමුත් පසුව ගැහැණුන් මුදල් ඉපයීමට පටන් ගත් නමුත් ඇය ඉපයූ මුදල් හෝ ඇයට අයත් ධනය ඇය කැමති ආකාරයෙන් වැය කළ නොහැකි විය. ඇගේ සියලු දෙපළ ඇගේ ස්වාමියාගේ අයිතියකි. ඇය පවා ස්වාමියාගේ දේපළකි. එක් වර්ගයක ලිංගිකයන් පිරිසක් ධනවත්කම සමග දැනෙන ආරක්ෂිත බව භුක්ති විදින විට අනෙක් ලිංගිකයන් වර්ගයට දුප්පත්කම සමග එන අනාරක්ෂිතකම ඔවුන්ගේ රචනාවන් ගොඩනංවන විට ඔවුන්ගේ මනසට කරනු ලබන බලපෑම ඇය මතක් කරයි.

එම සමාජ දේශපාලනික කාරනා එසේ තිබියදී ඒ සියල්ලට වඩා වැදගත් දෙය ලෙස ගැහැණියගේ නූගත්කම සහ දුප්පත්කම යන්න ආයතනගත විශයයන්ගෙන් ලබන අධ්‍යාපනය සහ මුදල් සම්බන්ද කාරණාවකට එහා ගොස්, පුරුෂ අධිකාරීත්වය විසින් ස්ත්‍රීන් වෙත පැටවීමට උත්සාහ කළ බුද්ධීමය මෙන්ම සමාජීය අත්දැකීම් පිළිඹදව වූ නූගත්කම සහ පෞරුෂමය මෙන්ම චින්තනමය දුප්පත්කමක් දක්වා පැතිරුන අයුරුද, එය පිරිමින්ගේ සාහිත්‍යකරනය ඇතුලු සියලු ප්‍රකාශණ හරහා ප්‍රකාශයට පත් වූ අයුරුද, එය ස්ත්‍රීන්ගේ සාහිත්‍යකරණයට බලපානු ලැබූ අයුරුද ඇය දක්වයි.

අවුරුද්දකට ලෝකේ ගැහැණිය ගැන පොත් කීයක් ලියවෙනවා ඇද්ද? ගැහැණිය ගැන ලියවෙන පොත් වලින් කීයක් පිරිමින් විසින් ලියනවා ඇද්ද? ඔබ දන්නවාද?සමහරවිට විශ්වයේ වඩාත්ම සංවාදයට පාත්‍ර වූ ජීවියා ඹබයි. (ගැහැණියයි)   


Have you any notion of how many books are written about women in the course of one year? Have you any notion how many are written by men? Are you aware that you are, perhaps, the most discussed animal in the universe?


පිරිමින් දහස් ගණනක් විසින් ගැහැණුන් පිළිඹදව ප්‍රබන්ධ කර ඇති සාහිත්‍ය කෘතින්, පර්යේෂණාත්මක ග්‍රන්ථ අති විශාල ප්‍රමාණයක් මගින් ගැහැණුන් ගැන තීරණ වලට පැමිණීමට කෙතරම් ප්‍රමාණයක් උත්සාහ දරා ඇතිද, ගැහැණුන්ට පිරිමින් ගැන නැති තරම් උනන්දුවක් ඇයි මේ තරම්ම පිරිමින්ට ගැහැණිය ගැන ඇති වෙන්නේ යයි එකල ජනප්‍රිය සාහිත්‍යකරුවන්ගේ එකිනෙකට පරස්පර වූ ප්‍රසිද්ධ ප්‍රකාශ උපුටා දක්වමින් වුල්ෆ් ප්‍රශ්ණ කරයි. Samuel Butler (1835-1902) වැනි ලේඛකයෙක්,

ප්‍රඥාවන්ත පිරිමි කිසිදාක ගැහැණුන් ගැන තමා හිතන්නේ කුමක්දැයි කියන්නේ නෑ.


Wise men never say what they think of women


යයි කියූවද ඇත්ත වශයෙන්ම අවාසනාවන්ත ලෙස මේ ප්‍රඥාවන්ත පිරිමින්ට ගැහැණිය ගැන එක අදහසක් සිතීමට කිසිවිටක හැකියාවක් තිබුනේ නැති බව ඇය දක්වයි. La Bruyère වැනි රචකයෙක් ගැහැණුන් ඕනෑම දෙයක් ගැන ඉන්නේ අන්තයන් වල. ඔවුන් එක්කෝ පිරිමින්ට වඩා හොදයි හෝ නරකයි යයි කියන විට, පාප් කෙනෙක් ගැහැණියට කිසිදු පෞරුෂයක් නැත යයි කියන බවත්, Napoleon Bonaparte ගැහැණුන්ට ඉගෙනීමට හැකියාවක් නැති බව කියන විට Samuel Johnson එහි අනික් පැත්ත සිතන බවත්, සමහරු ගැහැණියට ආත්මයක් ඇත යයි කියන විට සමහරු නැත යයි කියන බවත්, සමහරු ගැහැණිය දිව්‍යමය මනුශ්‍යෙයක් යයි සිතා වන්දනා කරන බවත්, සමහරු මොලේ නොවැඩුනු මන්දබුද්ධිකයින් ලෙස සලකන විට සමහරු ඉතා සිහිබුද්ධිය ඇති අය ලෙස සලකන බවත්, ගොතේ (Johann Wolfgang von Goethe) ගැහැණියට ගෞරව කරන අතර මුසොලිනී (Benito Mussolini) අවමන් කරන බවත්, එලෙස ගැහැණිය පිළිඔදව කිසිදු පැහැදිලි අදහසක් නැති රචනාවන් සදහා බොහෝ ලේඛකයන් තම ජීවිතයෙන් විශාල කාලයක් තම ලියන මේස මත මිඩංගු කරමින් සිට ඇති බව වුල්ෆ් ඉදිරිපත් කරයි.

ගැහැණියකට කිසිම ලිංගික ආකර්ශණයක් ඇති නොවෙන පෙනුමක් ඇති Professor von X ස්ත්‍රීන්ගේ මානසික, ආත්මීය, ශාරීරික හීනමානය (THE MENTAL, MORAL, AND PHYSICAL INFERIORITY OF THE FEMALE SEX) පිළිඹදව ග්‍රන්ථයක් රචනා කිරීම පිළිඹදව වුල්ෆ් විස්තර කරයි. ලියන මේසය මත ඇති කොළ මත ඔහු පෑනෙන් එම වචන සහ අකුරු ගලපන හැගීම, විසකුරු කුරුමිණියෙක් කොතරම් චප්ප කර දැමුවත් සෑහීමකට පත් වෙන්නට තමන්ට බැරි වුනාක් වැනි හැගීමකින් ඔහුව පෙලනු ලබන්නක් වේ. ඔහු කුරුමිනියා කෑලි වලට චප්ප කර මරා දමමින් සිටියද කිසියම් හේතුවකට ඔහු තුල වූ තරහව සහ ඇවිස්සුනු කෝපය තවමත් ඉතිරිව තිබේ. එම අප්‍රසන්න හැගීම ඔහුගේ බිරිද සුන්දර, කඩවසම් අශ්වාරෝහක නිලධාරියෙක් සමග ආදර සම්භන්ධයකට යාම නිසාද? නැතිනම් එම අශ්වාරෝහකයාට සුන්දර තරුණියක් සිටීම නිසාද? නැතිනම් කිසිම ආකර්ශණයක් දිනා නොගත් ලමා කාලයක් ඔහුට තිබීම නිසාද? ආදී ලෙස ඔහුගේ පෞරුෂය පෙලන යම් කාරණා නිසා වූවක් දැයි වුල්ෆ් තමාගේ පිංතූරයක් දෙස බලාගෙන ඔහුගෙන් ඇසූ බව දක්වන අතර ඔහුගේ වෛරීසහගත මානසිකත්වය පිළිඹදව දීර්ඝව විස්තර කරයි.

ඉතාම සිත් ගන්නා සුලු ආකෘතියක් වුල්ෆ් මේ කෘතියේදී භාවිතා කරනු ලබන බව කිව යුතුය. මේ කෘතියේ සත්‍ය චරිත සහ සිදුවීම් සමගම ප්‍රබන්ධිත චරිත සහ සිදුවීම්ද ඇය විටින් විට ගොඩනගනයි. සැබෑ චරිත පිලිඹදව ඇයට කීමට ඇති වඩා බරපතල සහ අභියෝගාත්මක කාරණා ඔවුන්ගේ පෞද්ගලිකත්වයට, පෞරුෂයට සහ සමාජ තත්වයට හානි නොකරමින්, නමුත් වඩා විශ්වාසනීය අයුරින් පවසා ගැනීමට මෙම ආකෘතිය ඉතා සූක්ෂම අයුරින් ඇය භාවිතා කර ඇති බව පෙනේ. වුල්ෆ්ගේ මෙම Professor von X චරිතයද සැබෑ ලෝකයේ චරිතයක් නොව ඇය විසින් එලෙස පබදින චරිතයකි.

ඇය එක් තැනක මෙසේ සදහන් කරයි,

ප්‍රබන්ධය සත්‍ය කරුණු මත පිහිටා තිබිය යුතුය, සහ කරුණු සත්‍ය වන තරමට පබැදුමේ සාර්ථකත්වය වැඩිවේ යයි අපට උගන්වා ඇත.


Fiction must stick to facts, and the truer the facts the better the fiction—so we are told.




ඇය විසින් පබදින සත්‍යට සමීප තවත් චරිතයකි ක්ෂේශ්පියර්ගේ (William Shakespeare (1564-1616) සහෝදරිය ජුඩිත්. (සත්‍ය ජීවිතයේදී ක්ෂේශ්පියර්ට ජුඩිත් නම් දියණියක් සිටී. නමුත් වුල්ෆ් මේ ඉදිරිපත් කරන්නේ ඇය නොවේ.) ක්ෂේක්ශ්පියර් කාගේත් අවධානය දිනා ගත් කෙලිදෙලෙන් දුව පැන ඇවිද සෙල්ලම් කළ මවගේ මහාර්ඝ වස්තුවය. ඔහු පාසල් ගොස් ලතින් භාෂාව ඉගෙන ගත්, ඉතිහාසය, ව්‍යාකරණ සහ තර්ක ශාස්ත්‍රය ආදිය හදෑරූ, කැලේ පැන හාවුන් ඇල්ලූ, මුවන්ට වෙඩි තැබූ, කා අතරත් ජනප්‍රිය චරිතයක් වී සිට, නියමිත කාලයටත් කලින් ඔහුට දරුවන් වදා දීමට සූදානම් වූ අසල්වැසි ගැහැණියක් සමග කලින්ම විවාහ වෙයි. ඉන්පසු තමාගේ වාසනාව සොයා එංගලන්තයට පැන යයි. ඔහුට වේදිකාව ගැන යම් ආශාවක් ඇති බැවින් රගහල් දොරටුවක අශ්වයින් බලා ගැනීමට පටන් ගනී. එසේ හිදිමින් රගහලේ රැකියාවක්ද ලබා ගෙන, පසුව සාර්ථක නලුවෙකු බවට පත් ව විශ්වය මධ්‍යෙය් ජීවත් වන්නට පටන් ගනියි.  සියලුදෙනා දැන හදුනා ගනියි. බොහෝ පිරිස් හමු වෙමින්, කලා කටයුතු වල නියැලෙමින්, පාර තොටේ ඇවිදිමින් තම කලා හැකියාවන් භාවිතාවයේ යෙදවීමට අවස්ථාව සලසා ගනී. අවසන රැජිණ වෙත පවා යා හැකි මාර්ගය ඔහුට විවර වෙයි.  

ක්ෂේක්ශ්පියර් ඉහත සියල්ල කරන විට අසාමාන්‍ය දක්ෂතාවයන් උරුම කරගෙන උපන් ඔහුගේ සහෝදරිය නිවසටම වී කල් ගත කරයි. ඇයත් ක්ෂේක්ශ්පියර් සේම අලුත් අත්දැකීම් ලැබිමට කැමති, පරිකල්පනීය ශක්තියකින් හෙබි, ලෝකය දකින්නට පුල පුලා බලා සිටිනා දරුවෙක් වුවත් ඇයට පාසල් ගොස් ව්‍යාකාරණ, තර්ක ශාස්ත්‍රය හෝ ලතින් ඉගෙනීමට ඉඩක් නොලැබේ. ඇයට සිදු වන්නේ නිවසේ ඇති සමහරවිට ඇගේ සහෝදරයා අත්හැර දමන ලද පොත් අත පත ගෑමට පමණි. ඒවායේ පේලියක් දෙකක් කියවන විට ඇගේ දෙමව්පියන් පැමිණ බොහෝ ආදරයෙන් මේස් නැවීමට හෝ ලිපේ තිබෙන මස් ඉස්ටුවක් බැලීමට හෝ අඩ ගසයි. ඇයට අසල්වැසි පිරිමියෙක් සමග විවාහ වන්නට සිදු වෙයි. නමුත් ජීවිතයේ බලාපොරොත්තු අත් නොහරින ඇය රෙදි කඩමාලු කීපයක් බෑගයක ඔතාගෙන තම වාසනාව උරගා බැලීමට ගෙදරින් පැන විත් ක්ෂේක්ශ්පියර් සේම නිලියක් වීමට රගහල් දොරටුවක් අසල බලා සිටියි. නමුත් ඇයගේ උත්සාහය ක්ෂේක්ශ්පියර් තරම් පහසු නොවේ. රගහල් පාලකවරයා ගැහැණුන්ට නිලියන් වීමට නොහැකි යයි තර්ජනය කරයි. ක්ෂේක්ශ්පියර්ට මෙන් ඇයට ඇගේ කලාවන් භාවිතාවේ යෙදවීමට තැනක් හිමි වන්නේ නැත. ඇයට දිවා රෑ නැතිව පාරවල් දිගේ කරක් ගැසීමටත්, විවිධ ගැහැණුන් සහ පිිරිමින්ගේ ජීවිත දැකීමටත්, ඇය තුල සිටින ශ්‍රේෂ්ඨ ප්‍රබන්ධකාරියට අවදි වීමට එම ජීවිත අත්දැකීම් තුලින් උත්තේජනයන් ලබා ගැනීමටත් ඇය පුල පුලා බලා සිටියද ඇයට එම අවස්ථා කිසිවක් නොලැබේ. අවසන රංගන ශිල්පී-කළමනාකරුවෙක් ඇය ගැන අනුකම්පාව පාන අතර ඔහුට දාව දරුවෙක් හදා වඩාගෙන ඇයට ජීවිත් වීමට සිදු වේ.  අවසන ගැහැණියකගේ ශරීරයේ පැටලී වෙලී ඇති කිවිදියකගේ හදවතේ වේගය සහ කෝපය ඔහුට මැණ ගැනීමට සලස්වමින් ඇය සිය දිවි නසාගනී. ඇගේ නිසල දේහය නගරයේ ඈත කොනක වල දමනු ලැබේ.

එලෙස ක්ෂේක්ශ්පියර්ගේ සහ නැගණිය වටා වුල්ෆ් ගොඩනගන කතන්දරය සත්‍ය වශයෙන්ම වුල්ෆ්ගේ ජීවිතයෙන් පැමිණි සත්‍ය තොරතුරු මත සහ ක්ෂේක්ශ්පියර්ගේ කාලයේ ගැහැණුන්ගේ ජීවිත පිළිඹද පරිකල්පයෙන්, ප්‍රබන්ධයක් සත්‍යයකට සමීප කොට ඉදිරිපත් කරන වුල්ෆ්, ක්ෂේක්ශ්පියර්ගේ කාලයේ මෙන්ම ඉන් පසුව වුල්ෆ්ගේ කාලය දක්වා සාමාන්‍ය සමාජයේ විසූ ගැහැණුන්ගේ ජීවිතද, විශේෂයෙන්ම කලා මාධ්‍ය තුල ප්‍රතිභාපූර්න ගැහැණුන්ගේ ජීවිත පිළිඹදවද විවරනයක යෙදිමට අවකාශයක් සකසා ගනී.

Emily Brontë වැනි වංශවත් ගැහැණුන්ට පවා ප්‍රතිභාපූර්ණ සාහිත්‍යකාරියන් වීමට කෙතරම් දුශ්කර වීද යත්, සාමාන්‍ය පැලැන්ති වල කිසිම අධ්‍යාපනයක් නොලද වැඩකරන කාන්තාවන්ට එලෙස ශ්‍රේෂ්ඨයන් බවට පත් වීම ගැන සිතීම පවා කළ නොහැකි වූ අයුරු වුල්ෆ් සාකච්ඡා කරයි. කෙතරම් දක්ෂ වුවද ගැහැණියක් වීම නිසාම සමාජයෙන් නොලැබෙන අවස්ථා හමුවේ සිහින අත්හරින ගැහැණුන්ට අවසන ජීවිතයේ බලාපොරොත්තු සුන් බව දරාගත නොහැකිවීමෙන් කුමක් වන්නේ දැයි වුල්ෆ් විස්තර කරයි. යක්ෂයින් ආරූඩ වූ ගැහැණුන්, තෙල් බෙහෙත් විකුණන බුද්දිමත් ගැහැණුන්, විශිෂ්ඨ පිරිමියෙක්ට සිටින මවක් පිළිඹදව දිනපතා පුවත්පත් වල පලවන ලිපි දෙස බලමින් ඔලුව වනමින් අප මේ සිටින්නේ ශ්‍රේෂ්ඨ නවකතාකාරියන් ලෝකයට අහිමි කරවන ලද, කිවිදියන් මැඩපවත්වා නිහඩ කරවන ලද මාවතක බව ඇය අපට මතක් කර දෙයි. 1809-1883 කාලයේ විසූ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක්, කවියෙක් වන Edward FitzGerald ගැහැණියක් වුනා නම්  එම කවි, ගීත තම දරුවන්ට කෙදිරීමට සහ දරුවන් සමග හෝ සීත ඍතුවේ දීර්ඝ රැයකදී හුදෙකලාව තමාගේ හැකියාවන් ගැන එම ගැහැණු Edward FitzGeraldට සතුටු වීමට පුලුවන් වන බව ඇය කියයි. ඉතින් මේ ගැහැණුන්ට පිස්සු වැටීම, හිසට වෙඩි තබාගැනීම, හුදකලා කුටියක දිවි තොර කර ගැනීම, අර්ධ යක්ෂණියන් හෝ අර්ද මන්තරකාරියන් බවට පත් වීම, භ්‍රාන්තීන් මෙන්ම ව්‍යාජයන් මවාපාන්නියන් බවට පත් වීම පිළිඹදව අප පුදුම විය යුතු නැති බව ඇය මතක් කර දෙයි.

සාහිත්‍යකරණයේ අති දක්ෂ නිර්මාණකරුවන් තම අද්විතීය නිර්මාණ ශක්තිය සහ පරිකල්පනය හරහා ඉතා උසස් සාහිත්‍ය නිර්මාණ බිහි කරන විට ඒවායේ ඉතා උසස් භාෂා විලාශය, ශෛලිය, ආකෘතිය සහ නිර්මාණාත්මක ගුණය ගැන මෙන්ම ඒ හරහා මතු කරන හරයන් සහ සත්‍ය අසත්‍යතාවය පිලිඹදවද අපට ඉතා බරපතලව සිතීමට සිදුවන බව වුල්ෆ් අපට මතක් කර සිටියි. නමුත් නිර්මාණකරනයේදී නිර්මාණකරුවා සත්‍යම පැවසුවාදැයි යන්න කිසිසේත්ම නොසැලකෙන දෙයක් බැවින් නිර්මාණකරුවකුට ඕනෑම දෙයක්, තමා දන්නා භාෂාවක් භාවිතා කොට, ඉතා උසස් නිර්මාණයක් ලෙස සමාජයට ඉදිරිපත් කිරීමේ අවකාශය සැලසෙන බව ඇය මතක් කරයි.

ඇය උදාහරණ ලෙස ඉදිරිපත් කරන්නේ John Milton's (1608–1674) විසින් 1637 දී රචිත, ඉතාම ශේෂඨ කාව්‍යක් ලෙස සැලකෙන LYCIDAS නම් කවිය පිළිඹදව පසු කාලීන රචකයකු වන Charles Lamb (1775 -1834) විසින් අදහස් දක්වා ඇති The Name Escape Me නම් ලිපියයි. මිල්ටන්ගේ එම කවියේ අත් පිටපත කියවූ විට එම කවියෙන් මිල්ටන් ඉදිරිපත් කළ තොරතුරු මොනතරම් සත්‍යෙයන් වියුත්ක දැයි දැක එයින් තමා බෙහෙවින් කම්පණයට පත් වූ බවත්, ඉතා උසස් යමක් විනාශ කරනු ලැබුවා සේ හැගුනු බවත් එම ලිපියේ Lamb ලියා ඇති බව ඇය විස්තර කරයි.

....A fact that one might prove by looking at the manuscript and seeing whether the alterations were for the benefit of the style or of the sense. But then one would have to decide what style is and what is meaning.


ස්ත්‍රිය සම්බන්දයෙන්ද ඉතා විශ්මිත ලෙස කරුණු වෙනස් කිරීම් සාහිත්‍යකරණයේදී සිදුකරනු ලැබ ඇති සේම, ස්ත්‍රිය සහ ස්ත්‍රී සාහිත්‍ය මගහැරී යාම පිලිඹදවද සාකච්ඡා කරයි. ලෝක සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන එලිසබතියානු යුගයේ (1500-1600)දී ස්ත්‍රී සාහිත්‍යයක් හමු නොවන බව මතක් කරන වුල්ෆ්, ඒ යුගයේ ගැහැණුන්ගේ සිතුවිලි සහ ජීවිතය තැන් තැන් වල විසිරී සැගවී ඇති බැවින් යමෙක් ඒවා එකතුකර ඉතිහාසය නැවත රචනා කළ යුතු බවත්, අපගේ පොත් රාක්ක වලට එම කෘතීන් එකතු විය යුතු බවත් ඇය මතක් කරයි.

Jane Austen ගේ කාලය වන තෙක්ම සියලුම ප්‍රබන්ධයන් වල අනෙක් ලිංගිකයන් විසින් ස්ත්‍රියව දකිනවා වෙනුවට, අනෙක් ලිංගිකයන්ට සාපේක්ෂව ස්ත්‍රිය දැකීම ඉතාම පුදුම සහගත දෙයක් වන බව ඇය කියයි. එය ඇගේ ජීවිතයෙන් මොනතරම් කුඩා කොටසක් දැයි වුල්ෆ් ප්‍රශ්ණ කරයි.  ලිංගිකත්වය විසින් පිරිමියෙකුගේ නාසය මත තබන කළු හෝ රෝස පැහැති කණ්නාඩියක් හරහා මිනිසෙකු එය නිරීක්ෂණය කළ විට ඒ ගැන දැනගත හැක්කේ කොතරම් අල්ප වශයෙද? එ් නිසා වෙන්න ඇති ප්‍රබන්ධ සාහිත්‍යෙය්දි ස්ත්‍රියගේ අරුම පුදුම විකාර ස්වභාවයක් දකින්න ලැබෙන්නේ. ඇගේ සුන්දරත්වයේ සහ බියකරු බවේ මවිතකරන සුලු අන්තයන්; ස්වර්ගීය යහපත්කම සහ අති ඝෝර දුශ්චරිතවත් බව අතර ඇයගේ වෙනස් වීම්. ඒක හරියට ප්‍රේමවන්තයෙක් තමාගේ ප්‍රේමය උත්සන්න වන විට සහ ගිලී යන විට ඊට අනුරූපව සිරියෙන් බැබලෙනවා හෝ ප්‍රපාතයකට කඩා වැටෙනවා වැනි යයි වුල්ෆ් ප්‍රකාශ කරයි.

මිනිසෙකු යමක් නිර්මාණය කරන විට ඔහුගේ හෝ ඇය සිටි මානසික මට්ටම (State of Mind) ඒ සදහා බලපානු ලබන බව වුල්ෆ් මතක් කර සිටියි. සාහිත්‍යකරනයේදී නිර්මාණකරුවාගේ/කාරියගේ මානසික මට්ටම කෙතරම් විශාල සේවයක් ඒ නිර්මාණය වෙනුවෙන් ඉටුකරනවා දැයි අද වන විට අපට අමුතුවෙන් කිව යුතු නොවේ. නිර්මාණකරුවෙකුගේ නිර්මාණයක් සමග ඔහුගේ මනස ක්‍රියා කරන ආකාරය මෙන්ම ඔහුගේ සැබෑ ජීවිතය ගතවන ආකාරය එලිදරව් වීම මගින් පාථකයාට හෝ ප්‍රේක්ෂකයාට සම්පූර්ණ චිත්‍රයක් ලැබෙන බව මතක් කර සිටින වුල්ෆ් ස්ත්‍රිය සහ සාහිත්‍ය පිළිඹද කතිකාවේදී පාථකයාට මේ සම්පූර්ණ චිත්‍රය ගොඩනගා ගැනීමට හැකි වීමේ වාසිය පිළිඹදව කතා කරයි. එනම් මේ ශ්‍රේෂඨ පිරිමින්ගේ මතවාදයන් පිළිඹදව ඹවුන්ගේ ප්‍රකාශ වලින් පමණක් නැතිව, ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන්ද අපිට පැහැදිලි කරගැනීමට එමගින් ඉඩ ලැබීම යයි ඇය පවසයි.


The two pictures always seem to me to complete each other. And happily in this age of biography the two pictures often do complete each other, so that we are able to interpret the opinions of great men not only by what they say, but by what they do. 


අද වන විට සියලුම නිර්මමාණකරුවන් පාහේ ඔවුන්ට ඒ ඒ කාල වලදී නිර්මාණකරනයට බලපානු ලැබූ මානසික මට්ටම් පිළිඹදව පසුකාලීනව ලිපි මගින් හෝ ස්වයං චරිතාපදාන මගින් හෝ පාපොච්චාරණය කිරීමක් කරන සම්ප්‍රදායක් ගොඩ නැගී තිබේ. නිර්මාණකරුවන් ඔවුන්ගේ ජීවිත කාලය තුල එසේ නොකලේ නම් ඔවුන්ගේ මරණින් මතු හෝ ඔවුන්ගේ පෞද්ගික ලිපි පළවීම හෝ එසේ නැතිනම් තවත් කිසිවකු විසින් නිර්මාණකරනයට බලපෑ පෞද්ගලික ජීවන තොරතුරු පිළිඹදව කතා කරන ලිපි ලිවීම සාමාන්‍ය දෙයක් වී තිබේ. නමුත් ක්ෂේක්ශ්පියර් ජීවත් වූ 1605/1606 කාලයේ KING LEAR ලියන විට, නැතිනම් 1607 දී ANTONY AND CLEOPATRA ලියන විට, 1856 දී Gustave Flaubert විසින් MADAME BOVARY ලියන විට එකල ඔවුන්ගේ මානසික මට්ටම කුමක්දැයි යන්න සාකඡ්චාවට ලක් වූ දෙයක් නොවූ බව වුල්ෆ් මතක් කරයි. පිරිමි නිර්මාණකරුවන් පෙලනු ලැබූ පෞරුෂත්වයන් සම්භන්ධ ගැටලු, ලිංගිකත්වය සම්භන්ද නිම නොවෙන විශමතාවයන්, ජීවිතයේ විදි අනන්ත දුක් කම් කටොලු වල පීඩනය, බලාපොරොත්තු සහ ඒවා අහිමි වීම්, ජීවිතයේ බිද වැටීම් ආදිය හරහා ඔවුන්ගේ මනසේ ගොඩනැගෙන සංකල්ප, ඔවුන්ගේ නිර්මාණ වලදී සිදුවීම් සහ චරිත හරහා ප්‍රකට වී සත්‍ය කරුණු ලෙස සමාජය වෙත මුදාහැරෙන බව වුල්ෆ් මතක් කරයි. එලෙස ස්ත්‍රිය සම්බන්දව ඔවුන් ගොඩනැගූ සංකල්ප ස්ත්‍රීන්ගේ සමාජය කෙතරම් පසුගාමී ආස්ථානයකට ඇද දමනු ලැබුවේ දැයි වුල්ෆ් දීර්ඝව කතා කරයි.

කෙසේ හෝ ස්ත්‍රීන් මේ සියලු පීඩනයන් මානව ඉතිහාසය පුරා ශතවර්ෂ ගණන් දරාගනිමින් දිගින් දිගටම නිර්මාණකරනය අත නොහැර පවත්වා ගෙය යමින් සිටින බැවින් ස්ත්‍රින්ගේ මානසික පීඩනයද ඔවුන්ගේ සාහිත්‍යකරණය හරහා නැවත ප්‍රකාශ වීම ස්වාභාවික බව වුල්ෆ් මතක් කරයි. Lady Winchilsea (Countess of Winchilsea (1661-1720) ගේ කවි එයට හොදම උදාහරණයකි. Winchilsea ගේ රචනාවන්ගේ ප්‍රතිවිරුද්ධවාදියා වී තිබුනේ බොහෝ විටම පිරිමින්ය. ඇයගේ කවි වල පිරිමින් කෙරේ වෛරයද, බියද එකසේ ගැබ්ව තිබුණි. මන්ද ඔවුන්ට ඕනෑම මොහොතක ඇය වඩාමත්ම කැමති දේවල් නවත්වන්නට බලය තිබූ බැවිනි, එනම් ලිවීම.

Alas! a woman that attempts the pen,Such a presumptuous creature is esteemed,The fault can by no virtue be redeemed.They tell us we mistake our sex and way;Good breeding, fashion, dancing, dressing, play,Are the accomplishments we should desire;To write, or read, or think, or to enquire,Would cloud our beauty, and exhaust our time,And interrupt the conquests of our prime.Whilst the dull manage of a servile houseIs held by some our utmost art and use.


අහෝ! පෑන එසවීමට උත්සාහ කරන කාන්තාවක්,
උඩඟු සත්වයෙකු ලෙසයි සලකන්නේ,
වෙන කිසිඳු ගුණාංගයක් නිසා වත් නිදහස් කල නොහැකි වරදක් ඒ.ඔවුන් අපට කියනවා අපි වැරදි ලිංගිකත්වයක හා වැරදි මාර්ගයකලු;
හොදට ලමයි හදන්න, විලාසිතා, නැටුම්, ඇඳුම් ඇඳීම, සෙල්ලම් කිරීම,
අප ආශා කළ යුතු ජයග්‍රහණලු;
ලිවීමට, කියවීමට හෝ සිතීමට හෝ යමක් ගැන විමසීමට යාම,
අපේ සුන්දරත්වය පසෙකට තල්ලු කර, අපේ කාලය කා දමාවිලු,අපේ අග්‍රගන්‍යත්වයට බාධාවක් වෙයිලු.නිවසක දාසකම් කරමින් ඉන්නා තුර තමයිඅපගේ කලාව සහ එහි භාවිතය පවතින්නේ.


ශ්‍රේෂ්ඨ කිවිදියන් විය හැකිව තිබූ ගැහැණුන් විවිධ අයුරින් නිහඩ කරවූ අතීතය සිහිපත් කරන වුල්ෆ් කිවිදියක්, දාර්ශනිකාවක්, විද්‍යාඥවරියක් මෙන්ම ඉතා උසස් වංශවත් කාන්තාවක් වූ Margaret Cavendish (Duchess of Newcastle-upon-Tyne (1623-1673) වැන්නියක් එවක අධිකරණය වෙත පවා ගෙනැවිත්, අපහාස කොට, ඇයව නිහඩ කරවීම ගැන වූ කම්පනයෙන් මෙසේ කියයි.

මොනතරම් හුදකලා හැගීමක්ද, සිතිවිලි වල කැලඹීමක්ද Margaret Cavendish මනසට ගේන්නේ! හරියට තඩි පිපිඤ්ඤා ගෙඩියක් රෝස පාත්තියි, කානේෂන් පාත්තියි උඩට වැටිලා සියල්ල සම්පූර්ණයෙන් විනාශ කළා වගේ හැගිමක්. යහපත් ගැහැණිය යනු මනසින් උසස් ගැහැණියයි(The best bred women are those whose minds are civilest) කියලා කියපු ඒ ගැහැණියගේ ඒ වචන මොනතරම් අපතේ යාමක්ද?


මේ අතර කිසිදු පාථකයෙක් හෝ විචාරයක් හෝ බලාපොරොත්තු නොවී තම ආත්ම තෘප්තිය, ආත්මීය නිදහස් වීම වෙනුවෙන්ම රහසිගතව සාහිත්‍යකරණයේ යෙදුන ගැහැණුන්ද වූ බව වුල්ෆ් මතක් කරයි. එසේම තම සාහිත්‍ය නිර්මාණ වල කතෘ අයිතිය සොච්චම් මුදලකට පිරිමින්ට විකිණීමට ගැහැණුන්ට සිදුවූ අතීතය ගැන සහ සැමියා මිය ගිය පසු තමන්ට ජිවත්විම වෙනුවෙන් වැනි කාරනා මත මුදල් ඉපයීම උදෙසා සාහිත්‍ය, පරිවර්තන ආදිය කිරීමට ගැහැනුන්ට ඉඩ ලැබුණ පසු කල යුගය ගැන වුල්ෆ් කතා කරයි. එසේ වුව පසුකාලීනව ගැහැණුන්ට සාහිතයකරණයේ යෙදිමේ යම් අවකාශයක් හිමි වෙමින් ගියද කිසිවකුගේ බාධා කිරීමක් නැතිව, නිස්කලංක කුටියක, සන්සුන් මනසකින් සාහිත්‍යකරණයේ යෙදීමට මධ්‍යම පාංතික ගැහැණියට අවකාශයක් නොලැබුනු බව ඇය විස්තර කරයි. ගැහැණුන් ලියනවා නම් ඇයට තමාගේම කියා කාමරයක් නොවූ බවත් ඇයට ලිවීමට ලැබුනේ පොදු කුටියක සිට බවත් ඇය විස්තර කරයි. එහි සෑම විටම භාධා කිරීම්, අමුත්තන්ගේ මෙන්ම දරුවන්ගේ පැමිණීම්, සේවකයන්ගේ පැමිණීම් මගින් වන බාධා මධ්‍යෙය් ස්ත්‍රීන් නිර්මාණකරණයේ යෙදුන අයුරු වුල්ෆ් විස්තර කරයි.

Miss Nightingale was so vehemently to complain,—"women never have a half hour… that they can call their own"—she was always interrupted.


Jane Austen සාහිත්‍යකරණයේ යෙදුනේද නිවසේ පොදු ශාලාවක සිටය. එබැවින් සෑම විටම තම අත් පිටපත් කිසිවකුට නොපෙනෙන්න සගවා තැබීමට ඇයට සිදු වූ බවත්, ඕනෑම මොහොතක කිසිවකු පැමිණීමට ඉඩ ඇති බැවින් ඇය ලිවීමට පටන් ගන්නා සැම විටම තමා ලියමින් සිටි බවක් පවුලේ අයගෙන් සැගවීමට අත් පිටපත වසන් කර ගැනීම සදහා කොලයක් ලග තබාගෙන ලිවිමට පටන් ගන්නා බව වුල්ෆ් පවසයි. Jane Austen ගේ PRIDE AND PREJUDICE කෘතිය ඉතා ඉහලින් වර්ණනා කරන වුල්ෆ් Austen නිවසේ පොදු කාමරයක සිට අනන්ත භාධා කිරීම් මද්‍යයේ නිර්මාණකරණයේ නියැලෙමින් එතරම් විශ්ෂ්ඨ කෘතියක් නිර්මාණය කළ අයුරු විශ්මයෙන් යුතුව විස්තර කරයි. එතරම් භාධා කිරීම් මධ්‍යෙය් කිසිදු වෛරීසහගත හැගීමක් නොමැතිව, දෝමනස්සයක් නොමැතිව, බියක් නොතැවරුන, විරෝධය ප්‍රකශ කිරීම් රහිතව, දේශනා රහිතව Austen විසින් ශේක්ෂ්පියර්ගේ ANTONY AND CLEOPATRA තරම්ම ශ්‍රේෂ්ඨ කෘතියක් නිර්මාණය කර ඇති බව කියයි. එමෙන්ම කිසිම ආකාරයකින් ශේක්ෂ්පියර් මෙන් සංචාරයන් වල නිරත වීමට හෝ මිනිසුන් දැකීමට හෝ ඉඩක් නොලැබුන බැවින් ඇයට ඇති සීමා සහිත අත්දැකීම් ප්‍රමාණයක් සමග එතරම් විශ්ෂ්ට නිර්මාණයක් ඇය අතින් බිහි වීම තමාව පුදුමයට පත් කළ බව වුල්ෆ් පවසයි.

නමුත් මිනිසුන් ෂේක්ස්පියර් සහ ජේන් ඔස්ටෙන් එකට ගෙන සංසන්දනය කරන විට, සියලු බාධා උකහාගත් මනසක් දෙදෙනාට ඇති බවක් ඔවුන් අදහස් කරනවා විය හැකිය

...and when people compare Shakespeare and Jane Austen, they may mean that the minds of both had consumed all impediments”
 

1819-1880 කාලයේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ සාහිත්‍යකාරියක් ලෙස සැලකෙන George Eliot ගේ ජීවිතය පිළිඹදව මතක් කරන වුල්ෆ් බොහෝ පීඩා වලින් පසු ඇය පැන ගිය නමුත්, ඒ St John's Wood හි හුදෙකලා නිවසක් වෙත පමණක් වූ බවත්, එහිදී ඇය ලෝකයේ අප්‍රසාදයේ සෙවණෙහි පදිංචි වූ බවත් පවසයි. කන්‍යාභාවය, පතිවෘත්තතාවය, සහ නිර්මලත්වය වැනි සංකල්ප සමාජ සම්මුතීන්ව පැවති සමාජයක, එම සමාජ සම්මුතීන්ට යටත්ව සිටීමට නම් කෙනෙකුට ලෝකය ලෙස හැඳින්වෙන දෙයින් තමාව කපා වෙන්කර දැමිය යුතු වීම පිළිඹදවත් වුල්ෆ් කතා කරයි. එසේම එම සියලු සමාජ සම්මුතීන් රැකීමට බල කෙරී තිබුනේ ස්ත්‍රීන්ට පමණක් බවත් ඇය විශේෂයෙන් මතක් කරයි.

George Eliotට එසේ සිදුවෙන අතරම, යුරෝපයේ අනෙක් පැත්තේ, ජිප්සි කෙල්ලෙක් සමග හෝ ධනවත් කාන්තාවක් සමඟ නිදහසේ ජීවත් වූ තරුණයෙක් සිටි බව වුල්ෆ් මතක් කරයි. ඔහු යුද්ධවලට යයි. පසු කලෙක ඔහු සිය පොත් ලිවීමට පැමිණි විට ඉතා විශ්ෂ්ඨ ලෙස තමන් උකහා ගත් මිනිස් ජීවිතයේ විවිධ අත්දැකීම් කිසිදු බාධාවකින් තොරව සහ වාරණයක් නොකර යොදා ගැනීමට ඔහුට ඉඩ ලැබෙන බව ඇය විස්තර කරයි.

ටෝල්ස්ටෝයි විවාහක කාන්තාවක් සමඟ 'ලෝකය යනුවෙන් හැඳින්වෙන දේවලින් වෙන් කොට' හුදෙකලා ජීවිතයක තැබුවේ නම්, සදාචාරාත්මක පාඩම කෙසේ වෙතත්, ඔහුට යුද්ධය හා සාමය කෘතිය ලිවීම අති දුශ්කර දෙයක් වනු ඇතැයි මම සිතුවෙමි.


Had Tolstoi lived at the Priory in seclusion with a married lady 'cut off from what is called the world', however edifying the moral lesson, he could scarcely, I thought, have written WAR AND PEACE


Sir Arthur Quiller-Couch (1863-1944) විසින් ඉතිහාසය පුරා සිටි ශ්‍රේෂ්ඨ ලේකඛයන්ගේ අධ්‍යාපනික, සමාජීය සහ ආර්ථික තත්වය ඔවුන්ගේ ලේඛනයනයේ ගුණාත්මක භාවයට කරන බලපෑම විස්තර කරන THE ART OF WRITING කෘතියේ, දුප්පත් සාහිත්‍යකරුවන් ඒ කාලේ පමණක් නොව පසුගිය අවුරුදු දෙසීයටම හිටියේ නැති බවත්, දුප්පතෙක් සාහිත්‍යකරණයට එනවා යනු බල්ලෙකුට සාහිත්‍යකරණයට ඉඩ ලැබෙනවා වැනි වැඩක් බවත් පවසා තිබේ. මන්ද යත් ශ්‍රේෂ්ඨ සාහිත්‍යමය නිර්මාණ බිහි වෙන්නේ බුද්ධිමය නිදහස ලැබෙන කෙනෙකුට විතරක් වන නිසා යයි ඔහු පවසා තිබේ. එම පොත උදාහරණ ලෙස ගන්නා වුල්ෆ්, 

න්න ඒකයි..! බුද්ධිමය නිදහස රදා පවතිනවා භෞතික දේවල් මත. සාහිත්‍යකරණය රදා පවතිනවා බුද්ධිමය නිදහස මත. ගැහැණුන්ට අවුරුදු දෙසීයක් කලින් නෙමේ අතීතය පුරාම දුප්පතුන් විදිහටයි ජීවත් වෙන්න උනේ. ඒ හින්දා ඔවුන්ට බුද්ධිමය නිදහසක් කිසි සේත්ම හිමි වුනේ නෑ. ඇතීනියානු වහලුන්ගේ පුත්තුන්ට තිබුන බුද්ධිමය නිදහස වත්. අඩු තරමේ අර බල්ලාට කවි ලියන්න තිබුන චාන්ස් එක වත්.


කාන්තාවන්ගේ හැකියාවන් පිළිබඳව න්‍යායාත්මක කරුණු දැක්වීමකට වඩා කාන්තාවන්ට කොපමණ මුදල් ප්‍රමාණයක් සහ කාමර කීයක් තිබුනේ දැයි දැන ගැනීම මේ මොහොතේ වඩා වැදගත් බව ඇය ඔනෑකමින් කියන්නේ ඉහත බුද්ධීමට නිදහස සාහිත්‍යකරණයේදී ගැහැණුන්ටත් අත්‍යාවශ්‍ය නිසා බව ඇය කියයි.  දොරකට අගුලක් තිබීම යනු නිදහසේ සිතීමට කෙනෙකුට ඇති බලය යයි ඇය මතක්කර දෙයි.

...that a lock on the door means the power to think for oneself.”


හොද පොතක් යන්න කුමක්ද යන උහතෝකෝටිකය පිළිඹදව වුල්ෆ් කතා කරයි. සාහිත්‍යකරණයට සැබෑ ජීවිතයේ ඇති සම්භන්ධය හේතුවෙන් සැබෑ ජීවිතයේ ඇති වටිනාකම්, සාරධර්ම සාහිතයකරණයේදී නිරූපනය වීම අනිවාර්‍යකි. සැබෑ ජීවිතයේදී කාන්තාවන්ගේ සාරධර්ම බොහෝ විට අනෙක් ලිංගය විසින් ගොඩනංවාගෙන ඇති වටිනාකම් වලට වඩා වෙනස්ය; ස්වාභාවිකවම එය එසේ ය. නමුත් පුරුෂ සාරධර්ම සමාජය තුල සෑම විටම උත්කෘෂ්ඨත්වයට පත්වේ. සැර පරුෂ ලෙස කථා කිරීම, පාපන්දු ක්‍රීඩාව වැදගත් වන විට, විලාසිතා ප්‍රිය කිරීම, ඇඳුම් මිලදී ගැනීම නොවැදගත් දෙයක් බවට පත් වී තිබේ. තවද මෙම අගයන් අනිවාර්යයෙන්ම ජීවිතයේ සිට ප්‍රබන්ධ දක්වා මාරු කරනු ලැබේ.

මෙය යුද්ධය පිළිඹදව ලියවී ඇති නිසා මෙය වැදගත් පොතක්. මෙය එතරම් වැදගත් පොතක් නෙමේ. මොකද එහි ලියවී තිබෙන්නේ විසිත්ත කාමරයක ගැහැණියකගේ හැගීම්. යුධ පිටියක දර්ශණයකට වෙළද සලක දර්ශණයකට වඩා වැදගත් කමක් ලැබේ. එලෙස හැම තැනකටම ඉතා සියුම් ලෙස වෙනස් වටිනාකම් ඇති වී තිබේ.


කෙනෙක් පැරණි, අතහැර දමන ලද, නොසලකා හරින ලද සාහිත්‍ය කෘති නැවත ගෙන බැලුවොත්, ඒවා අතරින් ස්ත්‍රීන්ගේ කෘති බොහෝ විට ප්‍රතික්ෂේප වී තිබෙන්නේ සමාජීය වටිනාකම් වලට පරස්පර අදහස් ඒවායේ අන්තර්ගත බැවින් යයි අපට පෙනෙනු ඇත. සමාජයේ සිටින ගැහැණුන් තම වටිනාකම් සමාජයට ගැලපෙන ලෙස වෙනස්කර සකස්කර ගනිමින් සිටියදී නිර්මාණකාරියන් දිගින් දිගටම එම වෙනස් කිරිම් ප්‍රතිෂේප කිරමින්, එවිට එල්ලවන විවේචනයන් දරා ගනිමින් ඉතිහාසය පුරා නිර්මාණකරණයේ යෙදී ඇති බව වුල්ෆ් මතක් කරයි. විශේෂයෙන්ම Jane Austen සහ Emily Brontë අදාහරණ ලෙස දක්වන වුල්ෆ් ඔවුන් දෙදෙනා ඇතුලු දහසකුත් සාහිත්‍යකාරියන් මෙය ලියන්න, මෙසේ සිතන්න යැයි වූ ඉගැන්විම් නොසලකා හැර තම ලිවීම් පිරිමින් ලියන ආකාරයට නොව කාන්තාවන් ලියන ආකාරයට ලියූ බව පවසයි. නිර්මල පීතෘමූලික සමාජය විසින් පනවන දැන් මැසිවිලි නඟන්න, දැන් අනුග්‍රහය දක්වන්න, දැන් ආධිපත්‍යය දරන්න, දැන් ශෝකයට පත් වෙන්න, දැන් කම්පනයට පත් වෙන්න, දැන් කෝපයට පත් වෙන්න ආදී වූ විධානයන් දුන් හඩවල් වලට ඔවුන් බිහිරන් සේ ප්‍රතිචාර දැක්වූ බව වුල්ෆ් සදහන් කරයි.

 ...කාන්තා නවකතාකරුවෝ විශිෂ්ටත්වය අපේක්‍ෂා කළ යුත්තේ ඔවුන්ගේ ලිංගිකත්වයේ සීමාවන් ධෛර්ය සම්පන්නව පිළිගැනීමෙන් පමණි.


...female novelists should only aspire to excellence by courageously acknowledging the limitations of their sex


Sir Egerton Brydges ගේ ඉහත ප්‍රකාශය උපුටා දක්වමින් මෙම ප්‍රකාශය ලියැවෙන්නේ 1828 නොව 1928 දී බවත්, මෙම සීමාගත කිරීම් විවිධ ස්වරූපයෙන් සමාජය තුල දිගින් දිගටම ක්‍රියාත්මක වෙන බවත් වුල්ෆ් මතක් කර දෙයි. අවසන සාහිත්‍යකරණය ඔවුන්ගේ සීමාවන් තුල පවත්වා ගැනීමේ ප්‍රශ්ණය විසදා ගැනීම සදහා ඔබේ නිර්මාණය හොද නම් ඔබ ජයග්‍රහණය කරාවි යයි පවසමින් මෙම මහත්වරුන් විසින් දිලිසෙන ත්‍යාගයක් ලබා දීමට පටන් ගත් බව ඇය පවසයි. මෙම කමකට නැති, අද බාල ත්‍යාග පිළිබඳ පොරොන්දු නොසලකා හැරීමට ඉතා ශක්තිමත් තරුණියක් අවශ්‍ය වනු ඇති බව ඇය පවසයි.
(වුල්ෆ් මෙසේ කියන විට නිකමට මෙන් 1900 දී ආරම්භ කරනු ලැබූ සාහිත්‍ය සදහා වූ නොබෙල් ත්‍යාගය දිනූ ලේඛක ලේඛිකාවන් පිළිඹදව සොයා බැලීමට සිත්විය. 1900 සිට 2017 දක්වා අවුරුදු 117 තුල නොබෙල් ත්‍යාගය දිනාගත් සාහිත්‍යකරුවන් ගණන 100ක් වන විට සාහිත්‍යකාරියන් ගණන 14කි. (සමහර වර්ෂ වල ත්‍යාග පිරිනමා නැත) ආරම්භයේ සිට 1990 එනම් අවුරුදු 90 ක් යන තුරුම ත්‍යාගය දිනා ගෙන ඇත්තේ සාහිත්‍යකාරියන් 05 දෙනෙක් පමණි. වර්ථමානය වන විට ස්ත්‍රී සාහිත්‍ය කෘති ත්‍යාගය ලබන වසරවල් පමාණයේ සුලු වැඩි වීමක් දක්නට ලැබේ.)

A Room of One's Own පස්වන පරිච්ඡේදයේදී ඇය ස්ත්‍රිය සහ සාහිත්‍යෙය් සමකාලීන භාවිතාවයන් පිළිඹදව සාකච්ඡා කරයි. විශේෂයෙන්ම ලෝක යුද්ධ ආදී දේශපාලනික කාරනා ස්ත්‍රීන්ට ආර්ථතික, සාමාජීය නිදහසේ දොරටු විවර වීමට බලපෑ ආකාරයත්,  දැන් වන විට පිරිමින් මෙන්ම ගැහැණුන්ද සාහිත්‍යකරණයේ නියැලෙන බවත්, විවිධ විශයයන් පිළිඹදව පවා ස්ත්‍රීන්ද කෘතීන් රචනා කර ඇති බව පවසයි.  එසේ වුවද තවමත් වඩා වටිනාකමින් වැඩි ලිංගිකයා පිරිමියා වි තිබීම පිළිඹදව ඇය සාකච්ඡා කරයි.

කාලයත් සමග කාන්තාවන් ලිවීම වීර ක්‍රියාවක් වූ යුගය අවසන් වී තිබේ. කියවීම සහ විවේචනය කිරීම ඇයගේ පරාසය වඩා පුළුල් සහ වඩා සියුම් බවක් ලබා දීමට සමත්ව තිබේ. ස්වයං චරිතාපදානය මගින් ඇයට ඇති ආවේගයන්ද මුදා හල හැකිය. දැන් ඇය ලිවීම තමන්ගේ මානසික පීඩනය මුදා හැරෙීමේ මාධ්‍යක් ලෙස නොව කලාවක් ලෙස භාවිතා කිරීමට පටන් ගෙන ඇත. නමුත් ස්ත්‍රීන්ගේ මේ අලුත් නවකතා අතර තවමත් ප්‍රශ්න කිහිපයකට පිළිතුරක් සොයාගත යුතුව තිබේ.


 Mary Carmichael නම් රචිකාවියකගේ පලමු නවකතාව ලෙස LIFE'S ADVENTURE නමින් වර්ජිනියා වුල්ෆ් නැවත ප්‍රබන්ධමය කතුවරියක් සහ ඇගේ කෘතියක් නිර්මාණය කරයි. ඒ හරහා එතෙක් සමාජයේ සාකඡ්චාවට ඉතා අඩුවෙන් බදුන් වූ ස්ත්‍රී සමලිංගිකත්වය මෙන්ම ස්ත්‍රී සමාජයේ සමකාලීන පසුගාමීත්වයන් පිළිඹදව වඩා පුලුල්ව කතාකිරීමට වුල්ෆ්  අවකාශය ලබා ගනී.

...literature would be incredibly impoverished, as indeed literature is impoverished beyond our counting by the doors that have been shut upon women.


එදා මෙදා තුර නිර්මාණය කරන ලද බහුතර ශ්‍රේෂ්ඨ සාහිතය කෘති වල ස්ත්‍රිය නිරූපනය වුනේ ලිංගික වස්තුවක් ලෙස බවත්, ස්ත්‍රී-පුරුෂ සම්භන්ධතා පෙම්වතුන් හෝ සැමියා-බිරිද වැනි ඒවාට සීමා වීම ගැනත්, ස්ත්‍රීන්-ස්ත්‍රීන් අතර සම්භන්ධතා මව-දියණිය හෝ මිතුරියන් හෝ පිරිමියෙකුගේ ආදරය, සැප සම්පත් ආදී දේ වෙනුවෙන් එකිනෙකා කෙරෙහි ඊර්ශ්‍යවෛන් පෙළෙන ගැහැණුන් දෙදෙනෙක් යන සරල සහ එකම ආකාරයක සම්භන්ධතා පමණක් වූ බවත් වුල්ෆ් අපට මතක් කරය.

ඉතා විශ්ෂඨ ප්‍රබන්ධ වල ඉතා සරල හා ඒකාකාරී ගැහැණිය නිරූපිත ය.


The splendid portrait of the fictitious woman is much too simple and much too monotonous.


Mary Carmichael විසින් එම සීමාවන් කඩා බිද දැමීමට ඉතා නිර්භීත පිවරක් ගෙන ඇති හෙයින්, මින් මතු ස්ත්‍රීන් පිරිමින් සමග ඇති සම්භන්දතා මෙන්ම, ස්ත්‍රින් ස්ත්‍රීන් සමග ඇති සම්භන්ධතා පවා වඩා අපූර්ව අයුරින් ඉදිරිපත් කිරීමට අවකාශය ඉන් ලැබෙන බව වුල්ෆ් දීර්ඝව විස්කර කරයි. එසේම Jane Austenලා විසින් ගොඩනගන ලද ආකෘති Carmichael විසින් ඇගේ පළමු නවකතාවේදීම බිද දැමූ බවත් එය සාහිත්‍යකරණයේ නව ගොඩනැංවීම් සදහා අලුත් අවකාශය සපයන බවත් ඇය මතක් කරයි. 

මුලින් ඇය වාක්‍ය රටා බිද දැම්මා; දැන් ඇය සිදුවීම් බිද දැම්මා. නියමයි... ඇයට සම්පූර්ණයෙන්ම අයිතිය තියෙනවා ඒ දෙකම කරන්නෙ. ඇය එය කලේ බිද දැමීමේ අරමුනෙන් බැහැරව නිර්මාණය කිරීමේ අර්ථයෙන් නම්.


First she broke the sentence; now she has broken the sequence. Very well, she has every right to do both these things if she does them not for the sake of breaking, but for the sake of creating.


ස්ත්‍රීන් සහ පුරුෂයන් එක්ව ජීවත් වීම සදහා ස්වාභාව ධර්මයා විසින් නිර්මාණය කරන ලද ජීවින් වුවත් මේ දෙදෙනාම සමානයන් ලෙස සැලකීමට ඉතිහාසය පුරා පිරිමින්ට නොහැකි වූ බැවින් මෙන්ම, ලිංගිකමය සවිඥානිකත්වයක්(sex-consciousness) ස්ත්‍රි පුරුෂ දෙපාර්ශවයටම නොවූවෙන්, ඉතිහාසය පුරා පිරිමින්ගේ පමණක් ශ්‍රේෂඨත්වය (superiority) ගොඩනැංවීමට අසාර්ථක උත්සාහයක සම්ස්ත සමාජය නිරත වූවත්, මේ යුගයේදීත් තවදුරටත් ඒවා එසේ පවත්වා ගැනීමේ අවශ්‍යතාවයක් නොවන බව ඇය අවධාරණයෙන් මතක් කරයි. එක් ලිංගිකත්වයක් තවත් ලිංගිකත්වයකට වඩා උසස්ය යන්න ගැන සිතීමට යාම, නැතහොත් එක් ආකාරයක ගුණාත්මකභාවයකට එරෙහිව තවත් ගුණාත්මකභාවයක් උත්කර්ශයට නැංවීම, බාලාංශ පංතියකදී මුල් ගුරුතුමා අතින් ලබා ගන්නා විසිතුරු කුසලානයක් ගැනීමට එක් කණ්ඩායමක් අනෙක් කන්ඩායම සමග තරග කරන්නකට සමාන වන්නේ යයි ඇය කියයි. ඒ විකාර සහගත විශිෂ්ඨයා වීම සදහා දිගින් දිගටම සාහිත්‍ය උපයෝගී කර ගනිමින් තිබෙන අයුරු විස්තර කරන වුල්ෆ්, එසේ කිරීමට යාමෙන් දෙදෙනා තුල තිබෙන හදුනා නොගත් ඉතා සුන්දර බොහෝ ලක්ෂන හදුනා ගැනීම මගහැරී යමින් තිබෙන අයුරුද, පිරිමියකු තුල සිටින ගැහැණු පෞරුෂයත්  (man-womanly) ගැහැණිය තුල සිටින පිරිමි පෞරුෂයත් (woman-manly) සොයා ගැනීමට නොහැකි වෙමින් තිබෙන අයුරුද වුල්ෆ් විස්තර කරයි. එසේ නොවුනා නම් මීට වඩා උසස් අන්දමේ සාහිත්‍යයක් ගොඩනැගීමට පුරුෂයින්ට මෙන්ම ස්ත්‍රීන්ටද හැකි වෙනවා නොවේදැයි ඇය සාකඡ්චා කරයි.

කාන්තා ව්‍යාපාරය දහනමවන සියවසේ නැතිව දහසයවන සියවසේ ඇති වුනා නම් එලිසබතියානු යුගයේ සාහිත්‍ය ඊට වඩා ගොඩක් වෙනස් වෙනවාට කිසිම සැකයක් නෑ.


Doubtless Elizabethan literature would have been very different from what it is if the women's movement had begun in the sixteenth century and not in the nineteenth.


මේ නොහැකියාව හේතුවෙන් ඉතා හොද අධ්‍යාපනයක් තිබෙන, වඩා නිදහස් මනසක් උපතේදී හිමි වූ, ආත්ම විශ්වාසයකින් හෙබි සාහිත්‍යකර්වන්ගේ උසස් ගනයේ ලා සැලකුන සාහිත්‍ය නිර්මාණ වල දිගින් දිගටම ස්ත්‍රී නම් ඇති, ඇවිදින ගස් වැනි, ඇට මිදුලු නැති ගැහැණු චරිත නිරූපණය වෙමින් තිබෙන බව ඇය දක්වයි.

මේ ගසක්ද? නෑ, ඒ ගැහැණියක්. නමුත්....ඇයට තිබුනේ නෑ ඇට මිදුලු, මුහුදු වෙලර දිගේ ඇවිදගෙන යන ගැහැණු නමක් තිබ්බ පෝබේ දකිනකොට මට එහෙමයි හිතුනේ.


 Is that a tree? No, it is a woman. But… she has not a bone in her body, I thought, watching Phoebe, for that was her name, coming across the beach.


ඕනෑම අකටයුත්තකට එරෙහිව අවශ්‍ය ප්‍රමාණයෙන් පීඩනයක් එල්ල නොකිරීම ඵල රහිත බව පෙන්වා දෙන වුල්ෆ්, අවශ්‍ය විට යුක්තිය ඉල්ලා සිටීමට මෙන්ම, සෑම විටම කාන්තාවක් ලෙස තමා සවිඥානික වීමද ඉතා වැදගත් බව පවසයි. පුවත්පත්, නවකතා සහ ජීවිත කතා ආදියට ඔලුව දමා බලන විට ඒවා විසින් අපට නැවත නැවතත් මතක් කරවන දේවල් තිබේ. කාන්තාවක් කාන්තාවකට කතා කරන විට ඇගේ ඇදුමේ අත් වල ඉතාම අප්‍රසන්න යමක් තැවරී තිබෙනවා වැනිය. කාන්තාවට කාන්තාවන් සමග සිටීමට අමාරුයි. කාන්තාවන් කාන්තාවන්ට කැමති නැත. කාන්තාවක් විසින් කාන්තාවකට කියවන ලද කඩදාසියක් එකිනෙකා එකඟ නොවන දෙයකින් අවසන් වනවායි කියා අපි මොහොතකට සිතමු. ඉතින් ඒකට මොකද? ඒ ගැන මට මොකක්ද හිතන්න තියෙන්නේ? වුල්ෆ් පවසන්නේ සත්‍ය වශයෙන්ම ඇය බොහෝ විට ගැහැණුන් ප්‍රිය කරන බවත්, ඇගේ අසම්ප්‍රදායිකත්වය ප්‍රිය බවත්, ඇගේ පරිපූර්ණත්වය ප්‍රිය බවත්, ඇගේ නිර්නාමිකත්වය පවා ප්‍රිය කරන බවත්ය.

ගැහැණුන් අනිවාර්‍යෙයන්ම මතකතබා ගත යුතු දෙයක් පිළිඹදව වුල්ෆ් සාඛච්ඡා කරන්නේ තමන් මේවා දැඩි ස්වරයකින්, අනතුරැ ඇගවිමක් ලෙසත්, අවවාදයක් ලෙසත් ගැහැණුන්ට මතක් කරනවා යයි කියාය.  එනම් කාන්තාවට කාන්තාවන් සමග සිටීමට අමාරුයි හෝ කාන්තාවන් කාන්තාවන්ට කැමති නැහැ වැනි දෙයක් කිසිවකු ඔබට පවසන ඕනෑම විටක  Mr. Oscar Browning ගැහැණිය ගැන දැරූ අදහස කුමක්ද කියා සිතන්න යන්නය. Napoleon වරක් ගැහැණිය ගැන සිතුවේ කුමක්ද, Mussolini ඔබ ගැන කුමක් සිතමින් සිටින්නේද, Professor Von X ඔබ ගැන ලියුව පොත කුමක්දැයි යන්න මතක් කර ගන්නා ලෙසය. අවසාන වශයෙන් John Langdon Davies ගේ A SHORT HISTORY OF WOMEN හි කාන්තාවන්ට කරන මේ අනතුරු ඇඟවීම ස්ත්‍රින් තරයේ සිහි තබා ගත යුතු කරුණක් ලෙස ඇය දක්වයි.

දරු පවුලක් වී සිටීමට තිබෙන වුනමනාව අවසන් වූ විට, කාන්තාවන් තවදුරටත් අවශ්‍ය නොවේ.


When children cease to be altogether desirable, women cease to be altogether necessary


අද සිටින සාහිත්‍යකාරිය බුත්කි විදිමින් සිටින සියලු වරප්‍රසාද වෙනුවෙන් ඉතිහාසයේ සිටි සියලුම සාහිත්‍යකාරියන්ගේ පෙනී සිටීම් මතක් කර ගන්නා ලෙස නවක සාහිත්‍යකාරියන්ගෙන් ඉල්ලා සිටින වුල්ෆ්, ස්ත්‍රීන් සාහිත්‍යකරණයේ යෙදීම, ලෝකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් අද දවසේ ස්ත්‍රීන්ට පැවරී ඇති වගකීමක් මෙන් වේ යයි පවසයි. අද ස්ත්‍රීන්ට අවස්ථා නැතිකම හෝ පුහුණුව නැතිකම හෝ දිරි ගැන්වීම් නැතිකම හෝ විවේකය නැතිකම හෝ  මුදල් නොමැතිකම සාහිත්‍යකරණය මග හැරීමට නිදහසට කරුණක් නොවන බව පවසන වුල්ෆ්, වර්තමාන ලේඛිකාවන් දරුවන්ද හැදිය යුතු වුවත් Mrs Seton මෙන් විශාල දරු කැලක් නොහදන බැවින්, දරුවන් හැදීම පවා ගැහැණියට අද සාහිත්‍යකරනයේ නොයෙදී සිටීමට නිදහසට කරුණක් ලෙස දැක්විය නොහැකි බව වුල්ෆ් අවධාරනය කරයි.

ඒ අනුව, තමන් අතේ තිබෙන යම් කාලයක් හා තමන් ලැබූ අධ්‍යාපනයෙන් මොළය තුල ගොඩනගාගෙන ඇති දේවල් සමඟ වර්තමාන සාහිත්‍යකාරිය නියත වශයෙන්ම සාහිත්‍යකරණයේ ඊලග අදියරකට අවතීර්ණ විය යුතු බව වුල්ෆ් මතක්කරයි. දිගු, ඉතා වෙහෙසකාරී හා අතිශය අපැහැදිලි වෘත්තියක් වුවත්, ඔබ කළ යුත්තේ කුමක්ද සහ ඔබට කුමන බලපෑමක් ඇති වේද යන්න යෝජණා කිරීමට පෑන් දහසක් සූදානම් වුවත්, ඔබ ඔබව අපූර්ව ප්‍රබන්ධයක ස්වරූපයක් තුලට ඇතුලු කරන්නැයි ඇය වර්තමාන සාහිත්‍යකාරියන්ට යෝජණා කරයි. දැන් අප ඉදිරියට යමින් සිටින බැවින්, අපගේ සම්භන්දය දැන් තිබෙන්නේ යතාර්තවාදී මනුශ්‍ය ලෝකය සමග මිස ගැහැණුන් සහ පිරිමින් ලෙස දෙකොටසකට බෙදී සිටින ලෝකය සමග නොවේ යයි වුල්ෆ් මතක් කරයි.

වර්ජිනියා වුල්ෆ් ඇයගේ ප්‍රබන්ධිත චරිතය වන ජුඩිත් අවසානයේදී නැවත සිහි කරයි. සාහිත්‍යකාරියක් වීමට ආශා කළ මුත් එකම අකුරක් හෝ ලිවීමට නොහැකිව නන්නාදුන්නියක්ව ලෝකයේ මුල්ලක මිහිදන් කළ ශේක්ෂ්පියර්ගේ නැගණිය. අප ඇයව අපගේ සාහිත්‍ය හරහා නැවත ජිවත් කරවිය යුතු බවට ඇය යෝජණා කරයි. එකම අකුරක් හෝ නොලියාම මිය ගිය දහසකුත් සාහිත්‍යකාරියන් වෙනුවෙන් අප දුප්පත්කම හෝ අදුර තුල හෝ සිටිමින් වුවත් සාහිත්‍යකරණයේ යෙදීමට අවකාශය සකසා ගත යුතු වන බව වුල්ෆ් අවසන අපට මතක් කරයි.


 සාහිත්‍යකරුවන් නොමියෙන මිනිසුන් වන්නේ ඔවුන්ගේ නිර්මාන අප හැමගේ හදවත් වල සැමදා පවතින බැවිනි. එබැවින් සාහිත්‍යකරනයේ නියුතු කාන්තාවද සැමගේ හදවත් වල සදාකාලිකව ජීවත් වන්නවුන්ය. ඇය කුමන කාලයේ වුවත්, සෑම සමාජයක් තුලම, සෑම කල්හිම මිනිසුන්ගේ සිත් තුල සදාකල්හිම පවතින යමක් ලොවට දායාද කරන්නියකි. වලං පිගන් හොදමින්, දරුවන් නිදි කරවමින් සිටිනා කාන්තාවන්ගේ සිත් තුල පවා එම නිර්මාණකාරියන්ගේ නිර්මාණ රැදී තිබේ.



ලංකා බණ්ඩාරනායක.

(අහස පොත් වැස්ස 2019 සගරාවේ පලවූ ලිපියකි)