Monday, September 25, 2017

මොනරියන් තවමත් බිත්තර ගිලිමින් සිටී....


නදීකා බංඩාරගේ මොනර බිත්තර නවකතාව ගැන අදහසක්...



මහා ගහක් හැදුනාම, ඒ ගහ පාමුල මොන තරම් සරු බීජයකින් උනත් තව ගස් හැදෙන්නේ නෑනේ. 
ඈතින් පැලවුනොත් විතරයි යන්තම් හරි ගහක් හැදෙන්නේ....ඒ වගේම මිනිස් සමාජ ක්‍රම සහ පවුල තියෙන්නේ වසර දහස් ගණනක් තිස්සේ ගොඩනගපු මහා සම්ප්‍රදායක් ඇතුලේ.. ඉතිං පවුල් වල වැඩිහිටියෝත් මහා ගස් වගේ... පවුල් වල ස්වාධීන දරුවෝ ඇතිවෙන්නේ නෑ.. ඔවුන්ව පුහුණු කරවන්නෙත් තමන්ගෙන් පස්සේ ඒ මහා ගහ වෙන්න.. දරුවොත් දෙමව්පියන්ගෙන් පස්සේ ඒ මහ ගහ වෙනවා... ඔවුන්ගේ දරුවොත් ආපහු ස්වාදීනව පැල වෙන්නේ නෑ ඒ පොළොවේ..

අනිත් පැත්තට පවුලක අම්මා සහ තාත්තා - ගැහැණු සහ පිරිමි විදිහට වෙන් කරලා ගන්න පුලුවන් ජීව විද්‍යාත්මක කාරණා ඇතුලේ විතරයි. විවාහ සංස්ථාව ඇතුලේ එයාලා දෙන්නා ක්‍රියාකරන්නේ දෙවිදිහකට උනාට, දෙන්න පවතින්නේ එක යුනිට් එකක් විදිහට. 

පුරුෂ මූලික සමාජ ක්‍රමයේ "නිශ්පාදනය" වෙන්නේ මහා පුරුෂයෙක් වෙන පියා.  "එම නිශ්පාදනයේ බලයලත් නියෝජිතවරිය" වෙන්නේ මහා ස්ත්‍රිය හෙවත් අම්මා..
මොකක්හරි හේතුවකින් මහා පුරුෂයාගේ භූමිකාවේ අවුලක් ආපු ගමන් නියෝජිතවරිය ටක් ගාලා එතනට replace වෙනවා භුමිකාව දිගට අරගෙන යනවා. යුනිට් එක දිගට ක්‍රියාත්මක වෙනවා(හරියට අපේ මෙගා ටෙලි නාට් වල වගේ... අද ඉන්න නලුවා නෙමේ හෙට ඒ චරිතේ කරන්නේ.. ඒත් ටෙලි නාට්‍ය දිගට යනවා..  අපි පැල් බැදගෙන බලනවා..)

නදීකාත් මොනර බිත්තර පොතේ ඇගේ මිත්තනිය - මුතුමැණිකා හරහා ගොඩනගන පවුලේ අතීතය හෙලි කරන්නේ ඒ යාන්ත්‍රණය..කඩා වැටෙන්න ගිය පෞරාණික රදල පවුල් සංස්ථාව පුරුෂ මූලික මහා ස්ත්‍රියක්  ගොඩනගපු හැටි නදීකා හරිම ශූර විදිහට අරගෙන එනවා අත්තම්මාගේ චරිතය හරහා. අත්තම්මගේ ආදිපත්යට යට වෙලා අම්මගේ, මාමලා,නැන්දලාගේ ජීවිතේ හැදුන හැටි, ඊලග පරම්පරාව එතනින් ගැලවිලා පැනගෙන ඈතින් පැලවෙන්න මුල් හොය හොයාගෙන යන හැටි ඇය කතා කරනවා.

ඒ වගේම නදීකා තමන්ගේ පරම්පරා වලට තනිවම පැලවෙන්න ඉඩ දුන්නේ නැති මේ මහා පුරුෂයන්ට, මහා ස්ත්‍රීන්ට එරෙහිව වෛරයෙන් පුපුරන ගමන්ම , ඇය දයානුකම්පාවේ අන්තයටම අපිව අරගෙන යනවා. ඒ පවුල් සංස්ථාව කියන යාන්ත්‍රණය ඇතුලේ ඔවුන් නිකන්ම ඇදිලා ගිය විදිහ ඇය පෙන්වනවා.
ඔව්. ගෑණි මැරෙන්න තිබුණේ.. එහෙම නැත්නම් ඒ ගැණි මරන්න තිබුනේ.. ඈ තමයි හූනියම.. ඒ ගෑණි කෑවා අපේ අම්මව.. ඒ ගෑණිව මරලා මට හිරේ යන්න තිබුණේ...
මුතුමැණිකෙට තිබුණා හොද ඉවක්. දරුවෝ පස් දෙනෙක්. අවාසනාවන්ත දෛවයක් තිබුණ සැමියෙක්. මොනවා කරන්නද? ඊට වඩා ඈට මොනවද කරන්න පුලුවන්? පව් මගේ ආත්තම්මා..
ඊලග පරම්පරා වල ගැහැණුන් සහ පිරිමින්ට  කැමැත්තෙන් හරි අතමැත්තෙන් හරි මේ යාන්ත්‍රණයේ යන්න වුන හැටි ඇය කියනවා
ඔයා එයාව බේර ගත්තේ නෑ...
මම මොනවද කරන්නේ..?  මම මොනවද කරන්නේ එයා ඔයාගේ අම්මා..
ඔව් ඇත්ත.. ඉතින් මොනවද කරන්නේ.. ?ඔව් මොකද කරන්නේ? කිසිවෙකුටත් කරන්න දෙයක් නෑ..

මේ පුරුෂ මූලික මහා සංස්කෘතිය ඇතුලේ ස්ත්‍රීන්ගේ තත්වය එන්න එන්නම භයානක වෙමින් යන්නේ (ඒ ඇයි කියන කාරණා වෙනම අපි කතා කරමු). ඇයට කොහෙත්ම තමන්ගේ ජීවිතය ගැන තෝරාගැනීමක් කරන්න ඉඩක් ලැබෙන්නේ නෑ. අද සමාජය වෙනස් වෙලා.. අද අපි දියුණුයි.. අද ස්ත්‍රීන් ස්වාධීන තොරා ගැනීම් කරනවා කියලා කියන්න බෑ.... 

අද වෙලා තියෙන්නේ පුරුෂයා මහා පුරුෂයා කියන භූමිකාව අතහරිමින් යනවා..එතකොට  එතැන එන භූමිකා  හිඩැසත් නැවත ස්ත්‍රියගෙන්ම පිරීමේ ක්‍රියාවලියක්.
ස්ත්‍රිය එකම වෙලාවේ හා පුරුෂයාගේ නියෝජිතයා භූමිකාවත්,  මහා පුරුෂයාගේ භූමිකාවත් කරමින් ඉන්නවා මොඩන් සමාජය ඇතුලේ.. එතනදි ප්‍රේමයේ,විවාහයේ,ගෞරවයේ,පරම්පරාවේ,සැමියාගේ,දරුවන්ගෙ ආදී දිග ලිස්ට් එකක නාමයෙන් ඇයව කැපකරමින් ඉන්නවා.. ඒක අපේ අම්මලාගේ කාලේ තිබුණ දිග ලිස්ට් එකම තමයි. තාමත් තමන්ගේ නම වෙනුවෙන් ඇරෙන්න අනිත් සියලුම නාමයන් වෙනුවෙන් අපිත් පෙනී ඉන්නවා.
ස්ත්‍රීන්ගේ කැමැත්තෙන් හරි, අකමැත්තෙන් හරි, සවිඥානිකව හරි, අවිඥානිකව හරි එහෙම කරන්න වෙන විදිහට තමා සමාජය හැදිලා තියෙන්නේ.පැරණි වැඩවසම් රදල සමාජයේ දී අපේ අම්‍මලාට අධ්‍යාපනය ගැන සිහින අතෑරලා විවාහ වෙලා සැමියා සහ දරුවෝ වෙනුවෙන් කැප වෙන්න වෙනවා.
අපේ සමාජයට එනකොට අධ්‍යාපනය ලබපු අපි ස්ත්‍රීන්ට කරන්න හැකි කියලා ලේබල් කරපු රැකියාවල් තෝරාගැනීම / විවාහය සහ දරුවෝ අතරට ජීවිතය බෙදලා දානවා. විශ්ව විද්යාල අධ්යාපනය ලබනවා 60% කට වඩා. තාක්ෂණික විද්‍යාල වල ඉගෙනුම ලබනවා 38% ක්. නමුත් ස්ත්‍රීන්ට කරන්න හැකියි කියලා ලේබල් කරලා තියෙනවා රැකියාවල්.
ඒවා සාත්තු සේවිකා( 60%)ගුරු( 62%) ලිපිකාර (62%) ගෘහ සේවිකා (82%) ආදී වෙනවා. 

සමාජයේ ස්ත්‍රීන්ට වෘතීන් වල යෙදෙන්න ඇති අවකාශ ඇහිරිලා තියෙන්නේ.. විශේෂයෙන්ම ඉහල නිලයන් වලට යන්න ඇයට තියන අවස්ථා හරිම අවමයි. 1931 සර්වජන ඡන්ද අයිතිය යටතේ ස්ත්‍රීන්ට ඡන්ද බලය  හිමිවෙලත් පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝජනය 4%ක් වගේ අගයක් වෙන්නේ තාමත්. දකුණු ආසියාවෙම දේශපාලන පක්ෂ වල ස්ත්‍රී නියෝජනය 7% යි. (පහුගිය කාලේ පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝජනය 25% දකවා වැඩි කරන්න යන කතාවක් කියවුනා.)
සමහරු උපාධි ෆොටෝ එකයි, බැජ් ෆොටෝ එකයි බිත්තියේ එල්ලගෙන දූවිලි පිහදදා ගෙදරට වෙලා ඉන්නවා. ආර්ථිකව සක්රීය ස්ත්රී සමාජයේ 5.5%කි වගේ ප්‍රමාණයක්.  75% වඩා නිශ්ක්රියයි.
නදිකාගේ මේ කතාවේ  මිතුරිය චිත්‍ර අදින එක, කවි ලියන එක නවත්තනවා විවාහයෙන් පස්සේ. තරුණිය මිතුරියගෙන් අහනවා,    
මගෙ දෙවියනේ ඔයා කොහොමද ජීවත් වෙන්නේ? 
පුරුදු උනාම ගානක් නෑ..
ඔව් පුරුදු උනාම ගානක් නෑ.. මම හිතුවේ ඔයා චිත්‍ර අදී කියලා. වැන්ගෝ වගේ.. පිකාසෝ වගේ.
ස්ත්‍රීන් මේ පුරුද්ද ඇතිකර ගන්න දරන උත්සාහයේදී ඇයට දරන්න සිද්දවෙන මේ ජීවිතය දරාගැනීමේ  වේදනාව ඇය අතින් මුදා හැරෙනවා එක එක විදිහට...  

ජීවිතේ විවිධ අවස්ථා වල ඩෑම් එකක් පුපුරනවා වගේ ඇය පිපිරිලා යනවා.
ඒක වෛරයක ස්වරූපයෙන් එන්න පුලුවන්.
අසීමිත ආදරයක / කරුණාවක / භක්තියක ස්වරූපයෙන් එන්න පුලුවන්..
ඒක පිස්සුවක ස්වරූපයෙන් වෙන්න පුලුවන්.
රෝගයක ස්වරූපයෙන් එන්න පුලුවන්..       
 විවිධ ආකාර වලට පිට දැම්මට මූලය එකක්.

 මේ කතාවේ වෛරය  සහ  පිස්සුව සහ නැටුම ප්‍රධාන හුයක් විදිහට කතාව පුරාම ප්‍රධාන චරිතය වහගෙන තියන දෙයක් විදිහට ගේනවා.. ස්ත්‍රී ලෝකය එක්ක  ලොකු සම්භන්ධයක් තියෙන දෙයක්  පිස්සුව සහ නැටුම.  ඒ දෙක එකට සම්භන්ධ කරලා පිස්සු නටන්න එපා කියල අපි කියනවනේ. පිරිමි ආකර්ශනය දිනා ගැනීමේ සාර්ථක ගැහැණුන්ට කියන්නේ නැට්ටිච්චී කියලා.  ටිකක් දේවාල / කෝවිල් පැත්තේ ගියාම පේනවනේ ස්ත්‍රීන් කොච්චර මායම් වෙලා නටනවද කියලා.

නදීකා මේ මොනර බිත්තර පොතේ වෛරය අරගෙන එනවා හැගීමකින් එහා තැනකට, පිස්සුව අරගෙන එනවා රෝගයක් කියන සංකල්පයෙන් එහා තැනකට, ‍නැටුම අරගෙන එනවා ශරීරය පාවිච්චි කරලා කරන රිද්මයානුකූල චලනමය දේකින් එහාට.. ඒවා සංකල්පයක් විදිහට හරිම සංකීර්ණ/ ඒ වගේම සියුම් තැන් වලට ආදේශ කරනවා. වර්ණ වලට ගේනවා,ෙරෙප්පු හරහා ගේනවා, ඉපදුන ගෙදරට ගේනවා, මතකයට සම්භන්ධ කරනවා,ජීවන බලාපොරොත්තු වලට ගේනවා,හීන වලට ගේනවා. කොටින්ම සිදුවීම් විස්තර කරන විදිහ, චරිත නිරූපණය කරන විදිහ, වාක්‍ය ගලපන විදිහ, ඡේද / දෙබස් හැම දේකටම එයා ඉතාම සියුම් විදිහට වෛරය, පිස්සුව සහ නැටුම සම්භන්ධ කරවනවා.

මේ කතාවේ චරිත ගොඩනගලා තියෙන්නේ ආදරය,  ලිංගිකත්වය සහ පවුල කියන කුලුණු 3 උඩ මූලික වශයෙන්.

ස්ත්‍රීන් තමන්ට ආපු පීඩනයට එරෙහිව සාමූහික සමාජයක් විදිහට ප්‍රංශ විප්ලවයත් එක්ක(1789) ගහපු පලමු කැරල්ල පුරුෂයා එක්ක සමාන දේශපාලන අයිතිවාසිකම් දිනා ගැනීම.. ඒ උනාට ඉන් පස්සේ ආපු ස්ත්‍රීවාදී රැලි සම්භන්ධ වෙන්නේ ආදරය සහ ලිංගිකත්වය සහ පවුල එක්ක. 
ස්ත්‍රී ලෝකයේ ආදරය ලිංගිකත්වය හා පවුල එක්ක බැදිච්ච ප්‍රධානම දේ - ගෙදර. ගෙදරක් ස්ත්‍රියකගේ ජීවිතේ එක්ක දේපළකට  එහා ලොකු සම්භන්ධයක් තියෙන්නේ... නිවසක් ගෙදරක් කරන්න පුලුවන් බිරිදකට විතරයි කියලා ප්‍රරුෂ ලෝකය ස්ත්‍රීන්ව ගැලවෙන්න බැරි උගුලකත් පටලවලා තියෙනවනේ. කෙනෙක් ගෙදරකට ගියාම ඒ ගෙදර අපිලිවෙල නම් අහන්නේ මේ ගෙදර ගෑණු කෙනෙක් නැද්ද කියලා.
ගෑණු ලමයෙක් පිටට දෙන්න තියාගෙන ඉන්න කෙනෙක් කියන මතය නේ තියෙන්නේ. ඇය ඉපදුන ගෙදර දාලා යන්න වෙනවා කසාද බැන්දම.ලමා කාලයේ හිටපු ගෙදර ගැන නොස්ටැල්ජියා එකක් සෑම ස්ත්රියක්ම ජීවිත කාලය පුරාම තියා ගන්නවා. පොතේ කියනවා..
අපිට දැන් ගෙදරක් නෑ... ඒ ගොල්ලෝ ගෙයක් හදන්ඩ යනවා. ඒත් මටනම් ගෙදරක් නෑ..මට තිබුණු එකම ගෙදර. මගේ අම්මට මාව එලවන්න ඕනවුණු ගෙදර. මම පැනලා යන්ඩ හිතාගෙන හිටපු ගෙදර. මම හීන දැකපු ගෙදර..මේක තමයි මට තියෙන්ඩ පුලුවන් පළමුවැනි, ඒ වගේම අන්තිම ගෙදර.. මට තවත් ගෙවල් ඔන නෑ..

කුඩා කාලේ ගෙදර අහිමි උන ඕනම ලමයෙකුට මේ නොස්ටැල්ජියා එක දීරඝ කාලීනව තියන දෙයක් වෙනවා.ජනප්රිය Citizen Kane චිත්‍රපටියෙත් කතා කරනවා මේ නදීකා ගේන ලමා කාලේ කතාවෙම පිරිමි ලමයෙකුගේ කතාව.

පවුලකට ඉපදෙන්නේ ගෑණු ලමයිද පිරිමි ලමයිද කියන එක අපේ සමාජ වල හරිම තීරණාත්මක විදිහට ගන්නවා.  
මොකද ලාංකීය සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරයට ඕන පිරිමි විතරයි. පව්කාරකං වලට ඇදගෙන යන ගෑණුටික හැදිගෑවිලා ගියාම නිවන් යන්න පුලුවන් කියලනේ කියලා තියෙන්නේ...අනිත් පැත්තෙන් පවුලේ නම ගෙනියන්න කොල්ලෙක් ඕන. අනිවාර්‍යයෙන් කොල්ලෙක් නම් නම ගෙනියන්නම වෙනවා කැමති උනත් නැතත්. අලුත උපදින ලමයට උප්පැන්න සහතිකේවත් අපේ රටේ ලැබෙන්නේ නෑ පියාගේ වාසගම නැතිව වෙන ඒවා දැම්මොත්.
ඉතිං ඔය සිංහල බෞද්ධ අම්මලා, තාත්තලාගේ ඇරියස් කවර් කිරීමේ පවත් ගෑණු ලමයින්ට ගෙවන්න  වෙන විදිහ නදීකා අරගෙන එනවා...
මගේ අප්පච්චිට වුවමනා වූයේ එක් කාලයක් මා පිරිමි දරුවෙක් ලෙස දකින්නයි. ඔහු මට කතා කලේ නන්ද! මට නැති වුණේ පුංචි මීයෙක් විතරයි. ඒ කාලේ මගේ ආත්තම්මා මට කිව්වෙත් නන්ද කුමාරයා කියලා. ඔහු මට ගෙනවිත් දුන්නේ පිරිමි ඇදුම්. මම ඇන්දේ කොට කලිසම්. ඒත් පස්සෙදි ඔහුට උවමනා වුණා ගැහැණු දරුවෙක්. මගේ මල්ලි ඉපදුනාට පස්සේ..
අප්පච්චිලාට,තාත්තලාට නම ගෙනියන්න පුත්තු ඕන වෙනවත් එක්කම අම්මලාටත් පුත්තු ඕන වෙන හේතුවක් තියෙනවා.
රත්න ශ්‍රී විජේසිංහ රචනා කරපුනෙරංජලා සරෝජනී - ගායනා කර සිංදුවක ඒක එලි කරනවා..
සිරිපාදේ වන්දවන්න හිස ඔලියල් බැදලා 
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා . . . . ගීතය.

මේ සින්දුවෙන් එලි වෙනවා සිංහල බෞද්ධ සමාජයේ ස්ත්‍රියගේ ජීවන ඉරනම..

මේ සිංදුවේ කියනවා 
ඇතෙක් වගේ තනිමන්සල බයක් නැතුව යන්නයි
කොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි කියලා...

රොබට් නොක්ස් ගේ එදා හෙල දිව පොතේ කියනවා...සූදැට ආභරණ වලින් සැරසිලා ස්ත්‍රියකට පේදුරු තුඩුවේ ඉදලා දෙව්න්දර තුඩුවට කිසිම කරදරයක් නැතිව යන්න පුලුවන් උනා කියලා..  මම දන්නේ නෑ.. රොබට් නොක්ස්ට ලංකාව අහු වුනේ නැද්ද රත්න ශ්‍රී ට ලංකාව අහු වුනේ නැද්ද කියලා... එක්කෝ දෙන්නගෙන් එක්කෙනෙක් බොරු කියනවා. 

දෙන්නම කියන්නේ ඇත්ත නම් රොබට් නොක්ස්ගේ කාලේ තිබ්බ ලංකාව රත්න ශ්‍රී ගේ කාලෙට එනකොට එහෙම වුනේ ඇයි කියන එක අපි බරපතල විදිහට හිතන්න ඕන...

ශ්‍රී ලංකාවේ..ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වන පරිච්ඡේදයේ
ශ්‍රී ලාංකික ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථාන පිරිනමන්නේය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14වන ව්‍යවස්ථාවේ (1)වන අනුව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිත්වාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.
(සිල් රෙදි බෙදුවේ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන්න හොදේ...)

3වන පර්ච්ඡේදයේ මූලික අයිතිවාසිකම් වල 12 (2) වගන්තියේ කියනවා
කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේය...

ඒකෙම (4) වන වගන්තියේ කියනවා

කාන්තාවන්ගේ, ලමයින්ගේ හෝ අබල තැනැත්තන්ගේ ප්‍රගතිය සදහා නීතියෙන් හෝ අනුනීතිවලින් හෝ විධායක ක්‍රියා මාර්ගයෙන් හෝ විශේෂ විධිවිධාන සැලැස්වීම මේ ව්‍යවස්ථාවෙන් කිසිසේත් අවහිර නොවන්නේය.

මෙතන මට ප්‍රශ්ණයක් එනවා බුද්ධ ශාසනය සුරක්ෂිත කරලා පෝෂණය කරන ගමන්ම කාන්තාවන්ගේ ප්රගතිය සදහා විධිවිධාන සලස්වන එක අවහිර කරන්නේ නැතිව ඉන්නේ කොහොමද කියන එක...

ඒ වගේම 2025 දක්වා අපේ රට ගමන් කල යුතු තිරසාර සංවර්ධන ඉලක්ක 17කට UN එකත් එක්ක සම්මුතියකට ඇවිල්ලා ඉන්නවා.. ඒකේ 5 ඉලක්කය වෙන්නේ  Achieve gender equality and empower all women and girls. 2025වෙනකොට ස්ත්‍රීන්ට සමාන සමාජ අයිතිවාසිකම් දෙනවා කියලා තමා මට තේරෙන විදිහට මේ කියන්නේ.. බුද්ධ ශාසනය සුරක්ෂිත කරලා පෝෂණය කරන ගමන්ම තමා ඒකත් කරන්න යන්නේ.. 2025 නෙමේ 5025 දිවත් මේක කරන්නේ කොහොමද කියලා මට හිතාගන්න බෑ.. මගේ දේශපාලන දැනුම මදි...
අපේ රටේ පගාවට ඕනම දෙයක් කරන්න පුලුවන් නිසා...සමහර විට මහ කහ රෙදි හොරුන්ට පගාවක් දීලා ඒක කරන්න ඉඩත් තියෙනවා.. එහෙම දෙයක් කලොත් අපේ  බෞද්ධ දරුවොන්ට අනාගතේ Book fair එකෙන් ගන්න වෙන්නේ 250ස් ජාතක කතා පොත් වහන්සේ වගේ එකක් තමා... 550ක් හම්බ වෙන්නේ නෑ...

නදීකාගේ පොත ගැනනේ කතා කරන්නනේ පටන් ගත්තේ.. එක කරමු නේ..

නදීකාගේ මේ මොනර බිත්තර පොතේදි ඇයට රූප මාධ්‍ය එක්ක ඇයට තියන ඇයි හොදයිය ප්‍රයෝජනයට අරගෙන තියෙනවා ඇය. වේදිකාවේ,සිනමාවේ ප්‍රයෝග ඇය ලිඛිත භාෂාවට අරගෙන එනවා. මේකේ එකපාර ඇගේ ලමා කාලය, තරුණ කාලය, වර්තමාන චරිත එකට මුණ ගස්සනවා. අතීතෙන් චරිත වර්තමානයට අරගෙන ඇවිත් අද අතීත සිදුවීම් දිහා බලනවා.  ඒක හරිම Dramatic විදිහට පාවිච්චි කරනවා පොත ඇතුලේ.නදීකගේ මේ මොනර බිත්තර පොතේ පාථකයාට නිකම්ම කතාවක් කියවනවා වගේ පොත කියවවට වඩා ඒකේ චරිත ඇතුලේ සජීවීව සැරිසරන්න වෙනවා . මේ ආකෘතිය ඇය ගොඩනගලා තියෙන්නේම පාථකයාව ඒ මොහොතේ සම්භන්ධ කරගන්නමයි... පාථකයාට ගැලවෙන්න බෑ..  ඒ වගේම එකපාර, එකම මොහොතක හැගීම් වල අන්ත දෙකක්  එකට අරගෙන එනවා. 
ඔය අත්දැකීම් වලට මූණ දීම අනිවාර්‍යයි මේ පොත කියනව පාථකයා.

ස්ත්‍රියක් ඇගේ ජීවිතේ වැදගත්කමෙන් මතක තියාගන්න, ඇගේ ලෝකය එක්ක බැදිච්ච, ස්ත්‍රී ලෝකයට අනන්‍ය දේවල්  තියෙනවානේ.ගොඩක් වෙලාවට පුරුෂයන්ට පුලුවන් ඒවට පුදුම වෙන්න විතරයි. සමහර වෙලාවට ඔවුන් ස්ත්‍රීන්ට හිනා වෙනවා. පුරුෂයෙකුට කවදාවත් හීනෙකින්වත් හිතාගන්න බෑ ඒවායේ ස්ත්‍රියකට තියන සම්භන්ධය. නදීකාත් එවැනි දේවල් අරන් එනවා.

මේකේ ප්‍රධාන චරිතයට තියන පවුල සහ විවාහය අතර සම්භන්දය හදන්නේ සෙරෙප්පු සහ ඇස් වලින් .අම්මා සහ සෙරෙප්පු එක්ක තියන සම්භන්ධය, සැමියා සහ සෙරෙප්පු  අතර සම්භන්ධයට මාරු කරනවා.තාත්තා සහ ඇස් එක්ක තියන සම්භන්ධය, සැමියා සහ ඇස් අතර සම්භන්ධයට මාරු කරනවා.

පාට හරහා ඇය කියන්න හදන දෙයක් තියෙනවා.නදීකා මේ කතාව පටන් ගන්නේ රතු ටී ෂර්ට් එකක් ඇදපු තරුණියකගෙන්. රතු කියන්නේ ආදරයේ වගේම වෛරයේ පාට, ශක්තියේ / බලයේ වගේම  විනාශයේ පාට. කෙනෙකුගේ අවධානය ඉක්මනින් දිනා ගන්න පාටක්... අනුරාගයේ පාට. ඇය කතාව පුරාම ඇදගෙන ඉන්නේ ඒ රතු ටී ෂර්ට් එක.. නදීකා පුන පුනා කියනවා අපිට අමතක කරන්න බැරි වෙන්න.. ඒ ටී ෂර්ට් එක රතු පාටයි කියලා... දැරිය ඇදගෙන ඉන්නේ දුඹුරු පාට කියලා කියනවා. දුඹුරු පාටින් ඇගවෙනවා ස්වාභාවිකත්වයට ජීවියකුට තියන සම්භන්ධය. නිස්කලංක, සුජවපහසු ලමා කාලය අගවනවා.  මම විදිහට ඇය ගේන චරිතය ඇදගෙන ඉන්නේ දම් පාට. ස්ත්රීත්වයේ මටසිලුටු කම වගේම ශක්තිය,ආත්මීය ප්‍රකාශණය ඇය දම් පාටින් අරගෙන එනවා. මම මේ නිකම් සරලව මේක මෙහෙම කිව්වට පොත කියවන කොට ඔයාලට තේරෙයි මේ පාට එක්ක ඇය කියන්න හදන ලොකු කතාවක් තියෙනවා කියලා.

කොණ්ඩේ කියන්නේ ස්ත්‍රියගේ ජීවිතයේ ලොකුම පාට් එකක්. කොණ්ඩේ කියන්නේ ගෑණියෙකුට ආභරණයක් කියලා අපේ අම්මලා අපිට කියන්නේ... ගැහැණියකගේ කොණ්ඩේ එක්ක දේශපාලනික, ඓතිහාසික,දාර්ශනික, ආගමික ගණනාවක් බැදිලා තියෙනවා.ස්ත්‍රීන්ගේ හිස බූ ගාපු එක ලෝකේ ගොඩක් ජනප්‍රිය දඩුවම් ක්‍රමයක් වුනා.  2ලෝක යුද්දේදී ජර්මන් සොල්දාදුවෝ එක්ක ලිංගික සම්භන්ධකම් තිබ්බ ප්‍රංශ ස්ත්‍රීන්ගේ හිස බූ ගාලා තියෙනවා.කතොලික ආගමේ දෙවියන්ට ප්‍රේ කරනවා නං කොණ්ඩේ වහගන්න මුස්ලිම් ආගමේ ස්ත්‍රීන් අනිවාර්‍යයෙන් වහගන්න ඕන. ලංකාවෙත් දන්ත ධාතුව ආරක්ෂා කරගත්තේ හේමමාලාගේ කොණ්ඩේ නිසානේ.
ස්ත්‍රීන්ගේ අනන්‍යතාව සම්පූර්ණයෙන්ම රැදිලා තියෙන්නේ කොණ්ඩෙන්.දිගට වවලා තියන එක ස්ත්රීත්වයේ සංකේතයක් විදිහට තමා ගන්නේ. එක එක ෆැෂන් වලට කපලානම්,ස්ටේට් රලා, කර්ල් කරලා නං පොෂ්, ෆැෂනබල්.  කොටට කපලා නං, පාට කරලා නං රැඩිකල් හෝ ස්ත්රීවාදී..

 නදීකාත් කොණ්ඩේ ගැන කියනවා.
දැරිය ඩොන්කි කොණ්ඩයක් කපපු දැරියක් කියලා. 1950s, චීන කොමියුනිස්ට ස්ත්‍රීන්ගේ / කාන්තා සොල්දාදුවන්ගේ ස්වාධීනත්වයේ සංකේතයක් වෙලා තියෙනවා කොටට කපපු මේ නදීකා කියන කොණඩේ රතු ටීෂර්ට් එක ඇදපු තරුණිය දිගටම ඉන්නේ -  අවුල් වුණු කෙස්සක් එක්ක.
ඒ වගේම ස්ත්‍රී ලෝකයට අනන්‍ය කොණ්ඩේ එක්ක සම්භන්ධයක් ඇය එලි කරනවා..
මට මුණ ගැහුණු ගොඩක් පිරිමි ආශා දිග කොණ්ඩෙට. ඒ ගොල්ලෝ කිව්වා මට කැතයි දිග කොණ්ඩේ කියලා. ඔව්, මට ඒ ගොල්ලොන්ව පේන්ඩ බැරිවෙනකොට මම කපනවා කොණ්ඩේ.. බැල්ලිගේ පුත්තුන්ට එපා වෙන්ඩ මාව.
ස්ත්‍රියගේ කොණ්ඩේට පුරුෂ ලෝකෙට තියන ලිංගික ආකර්ෂණයක්. නමුත් ස්ත්‍රියකගේ මානසිකත්වය එක්ක ඇගේ කොණ්ඩෙට තියන්නේ මොනතරං ලොකු සම්භන්ධයක්ද කියන එක ඇය එලි කරනවා. ස්ත්රී පුරුෂ මානසිකත්වය ගැන කතා කරන ආටිකල් එකක කියලා තිබුනා ඔබේ බිරිද දවසක එයාගේ කොණ්ඩේ කොටට කපන් ආවොත් පරිස්සම් වෙන්න කියලා. බිරින්දෑවරු, පෙම්වතියෝ නිතර කොණ්ඩේ වෙනස් කරනවා නං පෙම්වතුන්, සැමියන් පරිස්සං වෙන්න. මමත් අත්දැකීමෙන් කියන්නේ.

පුරුෂ ලෝකය ස්ත්‍රීන් ගැන කතා කරන්නේ හරිම සීමා සහිත දේවල් ටිකක් විතරයි.
 තං දෙක, පස්සක්, උපන් ලපයක් වගේ දේවල් ටිකකට විතරයි පුරුෂ ලෝකය ඇතුලේ ස්ත්‍රීන් ගැන කතා සීමා වෙන්නේ. පුරුෂ ලෝකයට ස්ත්‍රීන් ගැන කතා කරන්න තියන ක්ෂේත්‍රය විවෘත කරමින් යනවා නදීකා වැනි ලේඛිකාවෝ... මෙතනින් එහාට ස්ත්‍රියකගේ කකුලක තියන උපන් ලපයක් ගැන කතාවක් පිරිමියෙක්ව ගිනි තියලා මරන්න මරණ්න හේතුවක් වෙන එකක් නෑ මම හිතන්නේ.

ගින්න කිව්වම මතක් උනේ..
ගින්න එක්ක ආසියාතික ස්ත්‍රී ලොකයටත් සම්භන්ධයක් තියෙනවා. සීතා පතිවෘත්තාව ඔප්පු කරන්න ගින්නට පනිනවා. සති පූජා ඉන්දියාවේ ජනප්රියයි .. පත්තිනිත් පතිවෘත්තාව බලෙන් මදුරා පුරය ගිනි තියනවා.. වර්තමානයේත් ස්ත්‍රීන් ගින්න නිසා මැරෙනවා.පොලිස් වාර්ථා වල තියෙනවා -   ගිය වසරේ ගැහැණු - 121 ගින්නෙන් මැරෙනවා. පිරිමි - 48යි මැරිලා තියෙන්නේ ගින්නෙන්.. ගින්දර සහ ගැහැණිය ශිෂටාචාරය පුරා එකට බැදිලා තියෙන්නේ..

නදීකාත් ගින්න පාවිච්චි කරනවා..මෙ පොතෙත්  “මම කියලා හදුන්වන චරිතය ආන්තුකයා එක්ක සංසර්ගයෙන් පස්සේ ගිනි ජාලාවක් මැදට ඇවිදගෙන යනවා. කතාව අවසානයේත් ආපහු  ගින්න පාවිච්චි කරනවා. කතාව අවසානයේ එන ගින්නෙන්දී-   චරිතය  එලියට අරගෙන යන්නේ.. සායක් ඇදගෙන ඉන්න ගැහැණියක්. සායක් අදින ගැහැණියක් කියලා කියන එකෙන් මට ආපු අදහස තමයි පුරුෂ මූලික මතවාද ඇතුලේ ඉන්න ගැහැණියක් කියන එක.
මෙහි දැරිය / රතු ටීෂර්ට් තරුණිය / මම කියලා ගේන චරිත 3 ම දිගින් දිගටම පුරුෂ මූලික සමාජය එක්ක ගැටෙන/  ප්‍රශ්ණ කරන චරිත..  ඔවුන් දිගටම ඇදලා ඉන්නේ කලිසම්.. අවසානයේ  මම කියලා හදුන්වන චරිතය ඒවගේ ගැහැණියක් එක්ක ගින්නෙන් එලියට යැවීම ඇතුලේ  පුරුෂ මුලික මතවාද වලට එරෙහිව  දිගින් දිගටම චරිත කරපු අරගලය පාවා දීමක් හැටියට තමා මට දැනෙන්නේ.. අනිත් පැත්තට මේ ස්ත්‍රී චරිතය කතාව පුරාම දිගින් දිගටම කරන අරගලය අවසානයේ දී එහිම ගොදුරක් කිරීමෙන් මේ කතාවේ අවසානයේ එන  පරාජයෙන් නැවත අධිපති පුරුෂ මූලික මතවාද වලටම මුක්කුවක් ගැහුවා වගේ වීමක් උනා කියලා මට හිතෙනවා. ගෑණු නිදහස ඉල්ලා අරගල කරන්නේ හිස්ටීරියා නිසා,තමාව හොයාගෙන යන ගැහැණිය එහෙම යන්නේ ඇයට තියන පිස්සුව නිසා, එහෙම තමාව සොයා යාම ගැහැණියගේ ජීවිතය අවසානයේ අරගෙන යන්නේ විනාශයකට කියන සංකල්පය පුරුෂ මූලික මතවාදම තහවුරු කිරීමක් කියලයි මම හිතන්නේ..

මනුශ්‍යකුට තමන්ගේ පරාජයේ අවසාන අඩියෙදි යන්න තියන එකම ගැලවීම සියදිවි නසා ගැනීම. ලෝකේ රටවල් වල සියදිවි නසා ගැනීම් වලින් 60% ආසියාවේ සිද්ද වෙන්නේ.. නමුත් ඒ මැරෙන වැඩි ප්‍රතිශතය ගැහැණුන් නෙමේ.. ගැහැණුන් කැමැත්තෙන් සිය දිවි නසා ගන්න ප්‍රතිශතය අඩුයි. ලංකාවෙත් පොලිස් රිපෝට් වල සියදිවි නසා ගැනීමේ ප්‍රතිශතය 2011 -   පිරිමි 2939, ගැහැණු 831 යි. 2016- පිරිමි2339, ගැහැණු 686 යි.
(කෙනෙකුට කියන්න පුලුවන් ඒ පිරිමියාට සමාජයෙන් එන පීඩනය වැඩි නිසා කියලා.   නමුත් ඒක නෙමේ හේතුව. ස්ත්‍රීන් ස්වාභාවයෙන්ම දේවල් දරාගන්න සවිඥානිකව හෝ අවිඥානිකව පුහුණුවෙන නිසා. එක ස්ත්‍රියට පුරුෂ මූලික සමාජයේ පැවැත්ම පිළිඹද කාරණයක්.)

මේ පොත කියෙව්වම මේකේ රචිකාවිය විදිහට නදීකාගේ ජීවිතයත් අපිට අහු වෙනවනේ.. මේ පොතේ මගේ ජීවිතේත් සමාන්තරව යන තැන් මට තියෙනවා.. ඇගේ මේ පොතේ ගේන අම්මා වගේ කොහේහරි නාදුනන ගං දෙකක ජීවත් වෙලා, වැලලිලා යන්න නියමිත වෙච්ච දෛවයන් අරං ආපු දෙන්නෙක් මම හිතන විදිහට ඇය සහ මම. (මේ මම ඇය ගැන හිතන ආකාරය පමණි. මම නදීකාව පෞද්ගලිකව නොහදුනමි. අපේ සමාජයේ බොහෝ ස්ත්‍රීන් සැලකුවද ඔවුන්ගේ කතන්දර වල යටි පෙළ සමානය )
නමුත් ඇය අද ලේඛිකාවක්, සිනමා කාරියක්, වේදිකා නාට්‍ය ශිල්පිනියක් විදිහට ජීවිතේ ඉස්සරහට ගෙනියනවා. මම අද ඇය ගැන මේ සටහන තබනවා. 

ස්ත්‍රීන් ෆීනික්ස් කුරුල්ලෝ වගේ.දූවිලි වෙලා අලු වෙලා ගිහින් ඒ අලු වලින් නැගිටිනවා. 

නදීකා ඒ ඉන්නේ අලු වලින් නැගිටලා ඇවිත්. මමත් මේ ඉන්නේ අලු වලින් නැගිටලා ඇවිත්.. මේ ලොකේ ගොඩක් ඉන්නේ ඇය වැනිම, මා වැනිම ගැහැණුන්. ස්ත්‍රීන් ලේසියෙන් පරාජය බාර ගන්න ලෑස්ති දුර්වල මනුශ්‍යෙයන් නෙමේ.. පුරුෂ මූලික මතවාද ,  තමන්ගේ පැවැත්ම වෙනුවෙන් හදලා තියන බොරු කතාවක් විතරයි ඒක.
ඒ බව හොදින්ම දන්න, ඒ වෙනුවෙන් කතා කරන ඇයම මේ පොතේ ගැහැණියව අරාජික තැනකට ගෙනියනවා. මහා පුරුෂයෙක් ඉස්සරහා පුංචි ගැහැණියක් කරවනවා.  මොනර බිත්තර ගැ ලොකුම විවේචනයක් මට නදීකා මේ කතාව අවසන් කරන විදිහේ තියෙන්නේ... කෙනෙක් බෝම්බයක් ගහන්න ගිහින් ඒක අතේ පත්තු වුනොත් කොහොමද? මට දැනෙන්නේ නදීකාට වුනෙත් ඒ වගේ වැඩක් කියලා...

 ලෝකය පුරාම ස්ත්‍රිය මෙතෙක් ආ ගමනේ ස්ත්‍රී ලෝකය ගැන විවිධ හෙලිදරව් කිරීම් සිදුවුනා උනා ඒ ඒ කාලවල හිටපු සාහිත්‍යකාරියෝ අතින්.

පහුගිය දවසක පළවෙච් ඉසබෙල් අයියන්දේගෙ  ඉන්ටවිව් එකක් එක්ක ස්ත්‍රී ලේඛිකාවන්ගේ ප්‍රකාශන ගැන පොදු අදහසක් කියවුනා. අපි ගොඩක් අහලා තියන ලේඛිකාවක්නේ ඉසබෙල් අයියන්දේ.  ඇගේ ඊවා ලූනා / House of spirits ලංකාවේ ගොඩක් ජනප්‍රියයි.අයියන්දේගේ ඒ ප්‍රකාශය නදීකාගේ පොත එක්ක ගත්තම මොනතරම් සාම්‍යයක් තියනවද කියලා හිතුන නිසා මම හිතුවා ඒක කියන්න. ඇගේ පිළිතුර නදීකාගේ මේ පොත එක්ක කෙලින්ම සම්භන්දයි.

 ඉසබෙල් අයියන්දේගෙන් Interview එකකදි අහනවා පිරිමි නිර්මාන කරුවන්ගේ නිර්මාණයි, ස්ත්‍රී නිරිමාණකාරියන්ගේ නිරිමාණයි අතර ඔබ දකින වෙනස මොකක්ද කියලා.

අයියන්දේ කියනවා-  
මම ස්ත්‍රීන් විසින් ලියන ලද මතක සටහන් කියවීමට තමයි වඩාත් කැමති. මොකද ස්ත්‍රීන් අවංකයි සහ නිතරම අධ්‍යාත්මිකයි. මට පුලුවන් ඔවුන් සමඟ වඩා හොඳින් සමීප වීමට. ඔවුන් මට හැම විටම කුමක් හෝ දෙයක් උගන්වනවා. 
නදීකාත් මේ පොතේ ඉදිරිපත් කරන්නේ ස්ත්‍රියකගේ අවංක අධ්‍යාත්මික ප්‍රකාශණයක්.(පොතට අවසානයක් දෙන්න ඇය කල බොරුව ඇරෙන්න)  
ඇයත් අපට උගන්වනවා ඈ ඇගේ ජීවිතයෙන් උගත් සුවිශේෂි පාඩම්.

අයියන්දේ කියනවා- 

පිරිමින්ගේ මතක සටහන් කියන්නේ හැම විටම පිළිතුරු. ස්ත්‍රීන්ගේ මතක සටහන් කියන්නේ හැම විටම ප්‍රශ්ණ කිරීම්. 

නදීකාත් සෑම දෙයක්ම ප්‍රශ්ණ කරනවාකොහෙද යන්නේ? මතකද අපේ ගෙදර?  එයා ගැන දන්නවද? දැන් කෝ එයා?  ඔයා බීලා නැද්ද? ගොඩක් තැන් වල පිළිතුරු විදිහටත් / වාක්‍ය විදිහටත් දිගින් දිගටම ඇය අතින් ලියවෙන්නේ ප්‍රශ්ණ .

අයියන්දේ කියනවා- 

 පුරුෂ පාර්ශවයේ බොහොමයක් කතෘවරුන්ට අවශ්‍ය වෙන්නේ ඔවුන්ගේ මතක සටහන් හොඳ ඒවා බව අනාගත පරම්පරාවට පෙන්වීමට. පුරුෂයන් එහෙම වෙද්දී බොහොමයක් කාන්තාවන් දන්නවා මතු පරම්පරාව තුල සිදුවන වෙනස්කම් ගැන. කාන්තාවට අවශ්‍ය වන්නේ කතා කරන මොහොතේ අනෙක් අය සමග සම්බන්ධ වීමට. උරුමය ගැන වූ සැලකිල්ලක් ඔවුන්ට නැහැ. 

නදීකාගේ පොත හරහාත් ස්ත්‍රී ලෝකය හරිම භයානක විදිහට හෙලිදරව් කිරීමකට ලක් වෙනවා. ඇය මොහොතක් වත් හිතන්නේ නෑ ඇගේ මතක සටහන් පාථකයාට හොද ඒවා කියලා පෙන්නන්න.අයියන්දේ කියනවා වගේම නදීකාත් ඇගේ ස්ත්‍රී උරුමය ගැන තඹ දොයිතුවකට මායිම් කරන්නේ නෑ..මම එහෙම කියන්නේ  ශිෂ්ඨාචාරයක් පුරා ලාංකික ස්ත්‍රීන් සහේතුකව සගවාගත්, ගිලගත් බොහෝ රහස් ඇය මේ පොතේ වමාරන නිසා. මෙකේ එන සමහර දේවල් ස්ත්‍රීන් තමන්ගේ කාමරේ දොර හොදින් ලොක් කරගෙන තනියම ඉන්න වෙලාවක, තමන් එක්ක වත් නොකියන දෙවල්. ස්ත්‍රී ලෝකයේ රහස් එලිදරව් කරන්න නදීකාගේ තිබෙන නිර්භීතකම මොනර බිත්තර වල හැම අකුරකම දැවටිලා තියෙනවා...

මේ නිර්භිත කම අපේ ලාංකීය සාහිත්‍ය පුලුල් කරන්න.. වඩා මානූෂීය තලයකට මානව සඹදතා තල්ලු කරන්න ලොකු උදව්වක් වෙයි කියලා මම හිතනවා.. ඇගේ නිර්මාණ හරහා ගෝත්‍රිකත්වයෙන් එලියට තව පිම්මක් තියා ගන්න ඇය ගන්න අරගලයට මම ඇයට ගරු කරනවා සහ සුබ පතනවා....

තව කාරණයක් කියන්න තියෙනවා කියන්න... ඒක නදීකාගේ පොතට කෙලින්ම අදාල එකක් නෙමේ. (අදාල නොවන්නේද නොවේ)

අපේ රටේ මතයක් හදන්න උත්සාහ ගන්නවනේ  ස්ත්‍රී නිර්මාණකාරියන්ගේ නිර්මාණ ලෝකය බාර ගන්නේ නෑ කියලා. මටත් ස්ත්‍රීන්ම කීප දෙනෙක් කිව්වා නංගී ස්ත්‍රීවාදී කියලා ප්‍රසිද්ධියේ කියන්න එපාමානව වාදී කියන්න... ඒක තමා හොදම කියලා. 

ස්ත්‍රියක් ස්ත්‍රීවාදී කියලා කිව්ව ගමන් පතිවෘත්තාව / කන්‍යාභාවය  නැති කලා වගේ හිතෙන ස්ත්‍රීන්, කකුල් පන නැති වෙන පුරුෂයින්, පුරුෂ භාවය / ස්ත්‍රී භාවය  අහොසි කලා වගේ හිතෙන ගැහැණු පිරිමි ඉන්නවා නං එයාලා ක් ගාලා ගිහින් බෙහෙත් ගන්න ඕන කියලා තමා මමනං හිතන්නේ. වචන ඇහුනම බය වීම මානසික රෝගයක්.  ඒකට කියන්නේ LOGOPHOBIA කියලා.

මොකද ලෝකේ කිසිම ලේඛිකාවක් / නිර්මාණ කාරියක් ස්ත්‍රීවාදී  කියන්න බයේ ගැහෙන්නේ නෑ.. කවුරුහරි නිර්මාණකාරියක් මම ස්ත්‍රීවාදී කිව්වොත් උත්තරේ OK කියන එක.. එච්චරයි.. ලෝකේ කඩන් වැටෙන්නෙත් නෑ.. එයාලගේ නිර්මාණ වලට ඒකෙන් නරක බලපෑමක් වෙන්නෙත් නෑ.. ඒ වෙනුවට එයාලා නිර්මාණ මාකට් කරන්නත් ස්ත්‍රීවාදී  කියන එක පාවිච්චි කරනවා...

K.K සමන් කුමාර මේ පොතට ලිපියක් දීලා තියෙනවා... අවාසනාවට ඔහු විතරයි දීලා තියෙන්නේ... ඔහුව තමා බෙල්ල මුලින්ම අහු වෙන්නේ. ..ඔහු මේ පොතේ ඔහුගේ ලිපියේ වෙනමම ඉඩක් අරන් බොහොම පැහැදිලිව විශේෂයෙන්ම කියලා තියෙනවා.
එම ආත්ම ප්‍රකාශන සමාජය බාර නොගන්නා එකකි.
මම දන්නේ නෑ ඒ එයා කියන්නේ මොන සමාජයද කියලා... සමහරවිට ඔහු සිංහලෙන් ලිව්ව නිසා මට හිතන්න වෙනවා ලංකාවේ අපේ සිංහල බෞද්ධ සමාජය ගැන තමයි ඔහු මේ කියන්න ඇත්තේ කියලා. මොකද ලෝක සාහිත්‍ය බැලුවම ස්ත්‍රී ස්ත්‍රීවාදී ලේඛිකාවන් වැඩි වෙමින් ඉන්නවා,

(ඔය ස්ත්‍රීවාදී කතා ආවේ 70ගණන් වලින් පස්සේ ස්ත්‍රීවාදී රැලි එක්කනේ. ඊට කලින් තිබුණ අතිශය පුරුෂ මූලික සමාජයේත් ස්ත්‍රී නිර්මාණකාරියන් පුරුෂයන්ට අභියෝගයක් උනා. ලෝකේ වැඩිම ප්‍රමාණයක් පොත් විකිණෙන ‍ලේඛකයා විදිහට සැලකෙන්නේ ෂේක්ස්පියර්. ෂේක්ස්පියර්ගේ වගේම පොත් විකිනෙන අනික් අය වෙන්නේ අගතා ක්‍රිස්ටීන් (Agatha Christine) , බාබරා කාට්ලන්ඩ් (Babara Cartland) කියන ලේඛිකාවෝ. අගතා ක්‍රිස්ටීන් ගේ “The Mousetrap” ආදී පොත්  සැලකෙන්නේ ෂේක්ස්පියර්ගේ පොත්, බයිබලය හා සමානම ලෝකේ වැඩියෙන් ප්‍රකාශනය (Most widely published books) වෙන පොත් විදිහට)

වගේම ස්ත්‍රීවාදී ලේඛිකාවන්ගේ පොත් විකිණිමත් සීඝ්රෙයන් වැඩි වෙමින් යනවා, ලේඛිකාවන්ට ලැබෙන ඇගයීම් එන්න එන්නම වැඩි වෙමින් තමා යන්නේ.

නොබෙල් ත්‍යාග ඉතිහාසය බැලුවම 1900- 2016 වෙනකම්    සාහිත්‍යට ලැබිලා තියෙනවා ඔක්කොම Male - 99   Female - 14ක් සම්මාන. 1900- 1990 වෙනකම් ස්ත්‍රීන් හරිම අඩුවෙන් ස්ත්‍රීන් නොබෙල් ත්‍යාගය අරගෙන තියෙන්නේ. සම්මාන අනුපාතයක් විදිහට ගත්තාම 13:1 වගේ වෙලා තියෙන්නේ. 
නමුත් 2000 – 2016 කාලයේ ඒ අනුපාතය  2:1 වෙනවා. ඒක අසාමාන්‍ය වැඩි වීමක්. ඒ ත්‍යාගය දිනා ගත්ත ලේඛිකාවෝ අතර ඉන්නවා Herta Muller, Doris Lessine, Elfriede Jelinek, Toni Morrison වගේ ස්ත්‍රීවාදී ලේඛිකාවෝ ගොඩක්. ජනප්‍රිය තලයේ ලේඛිකාවන් (Bestselling fiction authors) ගත්තත් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා ස්ත්‍රීවාදී ලේඛිකාවෝ...

මේවා එක්ක බැලුවාම ලංකාව තියෙන්නේ ලෝකේ ඇතුලෙද.....
ලෝකේ තියෙන්නේ ලංකාව ඇතුලෙද කියන එක මටනං මාර ප්‍රශ්ණයක්....

ලංකා බණ්ඩාරනායක.

References

 01 -  http://www.childwomenmin.gov.lk/English/institutes/national-committee-on-women
02 - http://www.unwomen.org/en/about-us
03-    http://lankatarget.com/?p=15653   (ඉසබෙල් අයියන්දේගේ සම්පූර්ණ ඉන්ටවිව් එක කියවන්න පුලුවන් මේ ලින්ක් එකෙන්.)
04 - https://www.police.lk/
05 - https://www.nobelprize.org/