Tuesday, September 26, 2017

පූර්ණ පුරුෂයෙකුට අර්ධ නාරියක්.......!!!


කේ.කේ. සමන් කුමාරගේ අර්ධ නාරි කෘතිය පිළිඹද අදහසක්....


කේ.කේ. සමන් කුමාරගේ නේරංජනා ස්නානේ පොත ගැන කතාකරනකොට මම කිව්වා...

 “K.K. ඔයා ෆේල්. අන්ධයට අලිය ගැන විස්තරක කරන්න බෑ වගේ. ඔයාට ගැහැණිය අහු වෙන්නේ නෑ කියලා.

ඒ 2000 දි ලිව්ව පොත. දැන් 2017දී ඔහුගේ අලුත්ම නවකතාව වෙන අර්ධ නාරි” දක්වා එනකොට පහුගිය අවුරුදු 17 ට සෑහෙන්න අලි ටිකක් අතගාලා තියනවා කියලා පේනවා. මේ අන්ධයා අලියව සෑහෙන සාර්ථක විදිහට විස්තර කරන්න පටන් අරන් තියෙනවා. 

ඒත් ඒ අලියා නොවේ...නමුත් නොවේද නොවේ..

ඒ වගේම සාම්ප්‍රදායික පුරුෂ මූලික චින්තනය ආපස්සට කරකවන්න ඔහු ගොඩක් උත්සාහ කරලා තියෙනවා. ඔහුගේ අර්ධ නාරී පොතේ මෙහෙම කියනවා.
අපි දෙන්නාවම පොළොවේ පස් වලින් මවලා තියෙන්නේ. ඉතින් අපි දෙන්නම එක සමානයි. ඒකට ඇහුම්කන් දෙන්න ආදම්ට බැරිවුණා. දෙන්නටම එකිනෙකාට කන් දෙන්න පුලුවන් වුණේ නෑ
ඒ වගේම ඔහු ස්ත්‍රිය එක්ක තියන ගණුදෙනුව බේරගන්නත් උපරිම මානුෂිය තලයක උත්සාහ කරලා තියනවා.
 ඇගේ ගැහැණු හැගීම් තමන්ගෙම යටිහිත හැටියට උන්වහන්සෙට දැන්ණා. ඈට තමන්ගෙම යටිහිත හැටියට උන්නාන්සෙගෙ උඩුහිත දැනුණා
උන්වහන්සෙට අමුත්තක් දැනුණා. තමන්ගෙම උත්තමාංගය පිටතින් දැනිච්ච දේවල්ම වෙනත් තානයකින් ඒ ඒ තැන් වලම කණපිට හැරවිලා ලැජ්ජස්ථානේ වෙච්ච උත්තමාංගෙ ඇතුළතින් දැනෙනවා

ලැජ්ජස්ථානේ නත් උත්තමාන්ගයක් කියලා කිව්වනේ. කමක් නෑ කියලා දැනට බාර ගමු...

K.K.  ට තියන පුරුෂ මූලික රෝග ටික නේරංජනේ ස්නානේදී කතා කල නිසා එතනින් ඉස්සරහට කතා කරන එක හොදයි කියලා මං හිතුවා...මොකද K.K. ම ඒකට මේ අර්ධ නාරි පොත හරහා පාර හදලා තියන නිසා...

 මානව ශිෂ්ටාචාරය පුරාම තියන කතන්දර වලින් පේනවා මනුශ්‍යෙයකුගේ උපත එක්ක වර්ගයා බෝ කිරීමේ කාර්‍ය සම්පූර්ණ වෙනවට එහා ගියපු සමාජ, සංස්කෘතික, දේශපාලනික කාරනා ගොඩක් සම්භන්ධයි කියලා. බුදුහාමුදුරුවෝ බුදු උනාට පස්සේ නදජ්ජා වසලෝ හෝතී කිව්වට උපදින්න කලින් කාලය/ දේශය /කුලය/ මව බැලුවනේ. ජීසස් කියන දේ ඇහුවෙත් එයා දෙවියන්ගේ පුත්රයා කියලා ඔප්පු කරාට පස්සේනේ. එයාට මොන මොන මැජික් පෙන්නන්න උනාද දෙවියන්ගේ පුතාමයි කියලා ඔප්පු කරන්න.

ඒ වගේම ලෝකේ ඉපදෙන ඕනම මනුශ්‍යයෙක්ව දාන අච්චු 2 තියෙනවා. ඒ තමයි පුරුෂ - ස්ත්‍රී. අච්චු දෙකෙන් කෝකෙද එන්නේ කියන එකත් ආයිත් සමාජ, සංස්කෘතික, දේශපාලනික කාරණා ගොඩක් එක්ක සම්භන්ධයි. අනිත් අතට ලෝකේ මෙතෙක් බිහිවෙච්ච, පවත්වගෙන ආපු අධිපති මානව සඔදතාවේ හැඩය ස්ත්‍රී - පුරුෂ. පුරුෂයා ශුද්ධත්වයේ / හැකියාවේ / බලයේ සංකේතය වෙනවා. බුදුවෙන්න පුලුවන් පිරිමින්ට විතරයි. දෙවියන් වහන්සේට හිටියේ පුතා විතරයි. ස්ත්‍රිය එන්නේ පාපයේ /නොහැකියවේ / දුරුවලත්වයේ සංකේතයක් විදිහට. ගැහැණියගේ ජීවිතේ ලොකුම අත්පත් කර ගැනීම සැමියෙක් ලබාගැනීම /  දරුවෝ වැදීම. එතනින් විතරයි ස්ත්‍රිය පරිපූර්ණ වෙන්නේ. පුරුෂ ලෝකයට යන්න පුලුවන් අභිමානනීය අවසානය පාපය නැති කිරීම. නමුත් ඔවුන්ට එතෙන්ට යන්න භාධාවක් තියනවා. ඒ ඔවුන්ව පාපය දිහාට ඇදං යන ස්ත්‍රිය. ඒවා තමා තහනං ගහේ ගෙඩි කන්නේ ආදම් නෙමේ. බුදු දහමේත් ස්ත්‍රිය තමා පිරිමියාව අපායට ඇදගෙන යනවා කියලා කියන්නේ.

ඔය අතර මේ මානව සමාජයේම මුල සිටම ඉන්නවා මේ ස්ත්‍රී අච්චුවත්, පුරුෂ අච්චුවත් ප්‍රතික්ෂේප කරපු අය. මේ ගොල්ලෝ ගැන තියන පැහැදිලිකිරීම තමා උපතින් ගෑණු වෙලා ඉදලා පිරිමි වුනේ, එහෙම නැතිනම් උපතින් පිරිමි වෙලා ඉදලා ගෑණු වුනේ කියන එක. ඒ ගොල්ලෝ උපතින්ම මේ අච්චු වලට දාන්න බෑරිවුනා  කියලා නෙමේ ගන්නේ. හැම වෙලාවෙම උපතින් ලැබෙන ලිංගිකත්වය වෙනස් වෙන්නේ තමන් කල යම් පාපයකට,  එහෙම නැතිනම් උපතින් ලැබෙන ලිංගිකත්වය වෙනස්කරගත්ත තැන ඉදලා කරන්නේ පාප ක්‍රියා. කේ.කේ.සමන් කුමාර අර්ධ නාරී පොතේ කතා කරනවා ග්‍රීක මිත්‍යා කතාවල එන චරිත වෙන ලිලිත් සහ තිරේසිස් හරහා මේ අතීත පාපය ගැන කතාව.


බෞද්ධ දර්ශනයෙත් මේ විදිහටම අතරමගදී ලිංග පරිවර්ථන වෙන කතාවක් කියලා තියෙනවා අට්ඨසාලිනී දම්සගුයණු අටුවාව, විනයාර්තකථා ප්‍රථම පාරාජික වර්ණනාව, සාරත්ථදිපනිනම් විනය ටීකාව වැනි ග්‍රන්ත වල. ඒකත් මේ වගේම කර්මය පල දීම මතම තමා වෙලා තියෙන්නේ. කුශලය හේතුවෙන් ස්ත්රීන්ගේ ස්ත්රී ලිංග අතුරුදහන් වෙලා  පුරුෂ ලිංග පහල වෙනවලු

ඒක දැනගත්ත දවසේ ඉදලා මං වැඩිය පිං අතේ වැඩ කරන්නේ නෑ... මොකද පහුවදාට බලනකොට මට පුරුෂ ලිංගයක් ඇවිත් තිබුනොත් මල ජංජාලයක් මට වෙනවනේ. නිසා වැඩිය මං පංසල් එහෙම යන්නේ නෑ.. පිං තකා කිසිම දෙයක් කරන්නේ නෑ මලාට. 

රදේශක්කාර විජාතීය බලවේග විසින් අපේ නිර්මල බුදු දහම විනාශ කරන්න කරණ කුමන්ත්‍රණ නිසා මේ වටිනා බෞද්ධ පොත් ලෝකයා හමුවට යන්නේ නෑ..  ලිංග වෙස්කරන surgery කරන රටවල් වලින් අද ලෝකයේ ප්‍රමුඛම රට තායිලන්තේ. මේ බෞද්ධ පොත් ලෝකයා හමුවට ගියානම් අද අපේ රට බැංකොක් වලටත් එහාට ගිහින්. අපේ අනාගත පරපුරවත් මේ පොත් ලෝකෙට අරං ගිහින් මේවයෙන් ප්‍රයෝජන අපේ රටට අරන් දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා... මොකද, මේක හොද Business Opportunity එකක්...

බෞද්ධ දර්ශණයේ කියන්නේ ස්ත්‍රීනුත් පෙර පාපයන් පල දීලා ස්ත්‍රීන් වෙලා ඉපදිලා ඉන්නේ කියලනේ. කොහොමහරි ඉතිහාසය  ස්ත්රීන් සහ LGBT  දෙගොල්ලොන්ටම දෙන්නේ මේ එකම  පාපය කියන සංකල්පය . නමුත් ස්ත්‍රීන් ජීවිතාන්තය දක්වා පුරුෂයාට නොමිලේ අත්‍යවශ්‍ය සේවාවන් අසීමිත ප්‍රමාණයක් සපයන නිසා  ඒවා සපයන තාක් ස්ත්‍රියට පොදු සමාවක් තියනවා. නමුත් LGBT අය ගැන ප්‍රශ්ණයක් තියෙනවා. ශිෂ්ටාචාරය පුරා ගොඩනගපු පුරුෂ මූලික මතවාද පවත්වාගෙන යන්න ඔවුන් භාධාවක් වෙනවා. ලොකුම අවුල තමා ඔවුන් පුරුෂත්වයේ තියන වටිනාකම හෑල්ලු කිරීම සහ පුරුෂත්වය ප්‍රතික්ෂේප කිරීම. අනිත් අතට මෙතෙක් කල් ගොඩනගලා තිබුන ස්ත්‍රී ප්‍රතිරූප බිද දැමීම. ස්ත්‍රී - පුරුෂ බෙදා වෙන් කිරීම අභියෝගයට ලක් කිරීම. ඒ විදිහට LGBT අය හින්ද ස්ත්‍රීන් හා පුරුෂයන් විසින් මෙතෙක් ගොඩනගපු ලෝකය පවත්වගෙන යන්න අභියෝගයක් වෙන නිසා එයාලා සොබාදහමේ අසම්පූර්ණ, වැරදි  නිර්මාණයක් විදිහයි අපිට සලකන්න වෙනවා. K.K. මේ පොතට දීලා තියන නම අර්ධ නාරී

මහා ඉතිහාසයට පස්සේ දොස්තරල ටික එකතු වෙලා දෙනවා දෙවෙනි කෙලවීම. කිව්වා මේක මානසික රෝගයක් හොද කරන්න ඕන කියලා. මේ මානසික රෝගය හොදකරන්න දන්න යමර ඔක්කොම ටික කරනවා. දාර්ශනිකයොයි, චින්තකයොයි, රැඩිකල් සාහිත්‍යකාරයෝයි ඒක තව විකාරයක් කරනවා. කාලෙකට පස්සේ LGBT අය ගැන තිබුණු මේ මතය පස්සේ කාලේ විද්‍යාත්මක පර්යේෂණ වලින්ම වෙනස් වෙනවා. මෙහෙම වෙන්න බලපාන ජානමය සම්බන්ධය හොයා ගන්නවා. ඒකයි ලෝකේ රටවල් ඔවුන් මිනිස් සමාජයේ සාමාන්‍ය මිනිසුන් විදිහට නීතියෙන් පිළිගනිමින් යන්නේ. නමුත් අදටත් මේ අලුත් දැණුම පිළිගන්න බැරි සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමේ දොස්තරලත් ඉන්නවා.

ලංකාවේ අපි තාමත් LGBT කියලා කිව්වට ලෝකේ මේ ගැන සංවාද එතනින් ගොඩක් එහා ගිහින් තියෙන්නේ. LGBTQ, LGBTI, LGBTIQ, LGBTQQ, LGBTQI, LGBTQIAP, LGBTTQQIAAP, LGBTIH    ආදී නිර්වචන ගොඩක් කතා කරනවා. (මේ හැම අකුරක්ම ලිංගිකත්වයක් නියෝජනය කරනවා).

අපි ලිංගික නිදහස සහ ලිංගිකත්වයේ  නිදහස ගැන ගොඩක් කතා කරනවනේ. කට්ටියක් ඕනේ කියනවා, කට්ටියක් එපා කියනවා, එක්කෙනෙක් එක්ක විතරක් ලිංගිකව හැසිරෙන්න ඕන කියලා සීමා කිරීමත්, නිදහස කියන්නේ ගොඩක් එක්ක ලිංගිකව හැසිරෙන්න ඉඩ දීම කියලා අර්ථ නිරූපනය කරන්න යාමත් අන්ත දෙකක් කියලයි මම හිතන්නේ. අනිත් අතට අපේ සමාජයේ අසීමිත ලිංගික සම්භන්ධකම් පුරුෂත්වයේ අභිමානයේ සංකේතයක්නේ. ඒක සමාජය පිළිගන්නවා. නමුත් ස්ත්‍රී ලෝකය සම්පූර්ණයෙන් ගොඩනැගෙන්නේ ලිංගික තහංචි මත. කොල්ලෙක් නං නාවලා ගෙට ගත්තම හරි, ගෑණුනට එහෙම බෑ.. පරිස්සං වෙන්න කියලා කියන්නේ.

LGBT අයගැන තියන අපේ සමාජ භීතිකාවත් බැදිලා තියෙනවා එයාලා මේ බල්ලෝ බළල්ලු වගේ හම්බවෙන ඕනම එකෙක් එක්ක, ඹ්නම තැනක, ඕනම වෙලාවක ලිංගිකව හැසිරෙන්න පුලුවන් කට්ටියක් කියලා හදාගෙන තියන පදනම් විරහිත සංකල්පය එක්ක. මට අනුව නම් ඒක නිකම්ම හිතලුවක් විතරයි. මම අත්දැකීමෙන් කියන්නේ. රෝමියෝ ජුලියට්ලා ටත් වඩා එහා ගිය එකම සහකාරයෙක් සහකාරියක් වෙනුවෙන් මැරෙන්න යන අය ගොඩක් මම දන්නවා. එහෙම එකේ එයාලගේ ලිංගික ජීවිතය සමස්ථයක් විදිහට අරගෙන වැරදියට  අර්ථකතනය කරන්න යන එක එයාලව ලැජ්ජාවට පත් කරන්න,මර්ධනය කරන්න අපේ සමාජය පාවිච්චි කරන බාල උපක්‍රමයක් විතරයි මට අනුව නම්. 

අවාසනාවට  අපේ නිර්මාණ කරුවෝ අතින් එවැනි වැරදි අර්ථ නිරූපනයන් වෙන වෙලාවල් ගොඩක් වෙලාවට අපිට දකින්න පුලුවන්. නිර්මාණයක අනිවාර්යෙන් ගැටුමක් තිබිය යුතුයිනේ. ගැටුමක් නැති තැන නාට්‍යක් නැත කියලනේ ඇරිසි ටෝටල් පවා කියලා තියෙන්නේ. ඉතින් ඔය ගැටුම ඇති කරන්න එකිනෙකට ප්රතිවිරුද්ධ අදහස් ඇති දෙන්නෙක් එකට මුණගස්සනන් ඕන. අපේ නිර්මාණ වලදී ප්රේක්ෂකයාට හෝ පාථකයාට අන්න ගැටුම දනවන්න නිර්මාණකරුවා උත්සාහ කරන නිසා තමා ඒක වෙන්නේ

 LGBT අය ගැන තියන මම කලින් කියපු පදනම් විරහිත අර්ථ කතනයටම K.K.  ගේ අර්ධ නාරි පොතෙනුත් පොඩි Support එකක් ලැබෙනවා කියලා මට හිතනවා. ඔහු එක පැත්තකින් Lesbian/ Trance ගැහැණු දෙන්නෙක් අරගෙන, අනිත් පැත්තෙන් විශම ලිංගික පිරිමි දෙන්නෙක් අරගෙන මේ හතර දෙනාම පොදුවේ නිදහස් ලිංගික ජීවිත ගත කරන අය කිරීමෙන් ප්‍රේක්ෂකයාට ගැටුම දනවන්න ඕනවට වඩා උත්සාහ අරන් කියලා තමයි මට හිතෙන්නේ.

ඒ වගේම LGBT අය විශම ලිංගික නොවී එහෙම වෙන්නේ ඇයි කියන එක ලෝකේ ගොඩක් අය දැනටත්  කතා කරන ජනප්‍රිය දෙයක්නේ.  විවිධ හේතු ඉදිරිපත් වෙනවා. මමත් මගේ Lesbian /Gay යාලුවොන්ගෙන් හොයලා බැලුවා. ලෝකේ රටවල් වලිනුත් මම ටිකක් හෙව්වා. 
අපි මේවා කතා නොකලට ලෝකේ මිනිස්සු කතා කරනවනේ. 

මට හම්බවුනා මයික් මිල්ස් කියලා ඇමරිකානු අධ්‍යක්ෂවරයෙක්. ඔහු ඉපදිලා තියෙන්නේ 1966දී. ඔහුගේ අම්මා මියයනවා 1999දී. අම්මා මිය යනකොට තාත්තාට වයස අවු 75යි. එ් වෙනකොට අවුරුදු 44 වෙනවා ඔවුන්ගේ විවාහ ජීවිතේ ට. දරුවෝ 2 හෝ 3 දෙනෙක් ඉන්නවා එයාලට. මයික් මිල්ස් ඒ දරුවන්ගෙන් එක්කෙනෙක්. අම්මා මැරිලා මාස හයකට පස්සේ ඉදලා තාත්තා ජීවිතේ ඉතිරි කාලේ ගෙවන්නේ Gay එක්කෙනෙක් විදිහට. ලෝකේ ගොඩක් සමලිංගිකයින්ගේ කතා අඩු වැඩි වශයෙන් ඔය වගේ එවා තමයි.

එහෙම නැතිව ගැලපෙන ස්ත්‍රයක් හමු නොවීම නිසා Gay උනා, ගැලපෙන පුරුෂයෙක් හමු නොවීම නිසා Lesbian  උනා කියලා කතාවක් මට කොහෙන්වත් හම්බ වුනේ නෑ.  මම කවදාවත් මේගොල්ලොන්ට එහෙම හේතුවක් තියෙන්න පුලුවන් කියලා හීනෙකින්වත් හිතුවේ නෑ. 

නමුත් එහෙම වෙන්න පුලුවන්ලු. මම ඒක දැනගත්තේ මේ පොතෙන්. K.K.  අලුතෙන් හොයාගෙන තියෙනවා එහෙම වෙන්න පුලුවන් කියලා. නතාශට අවසානයේ සැබෑ පුරුෂයෙක් හම්බ උනාම එයා ලෙස්බියන් නොවී පතිවත රකින් යහපත් ගැහැණිය වෙලා, අම්මා කෙනෙකුත් වෙලා. අපි K.K. ට ස්තූති කරන්න ඕන මේ නව දැනුම අපිට බෙදලා දුන්නට..

අනිත් පැත්තෙන් උමයංගන ඔපරේෂන් එකකින් වැරැද්ද හදාගෙන උමයංගනා වෙලා එයාට ආදරේ කරන, එයා හොයපු පිරිමියා එක්ක සතුටින් ජීවත් වෙනවා.

මේක සුරංගනා කතාවක් වගේ... සුරංගනා කතාවක අවසානයක් ඔහු දීලා තියෙන්නේ. 

හෙන්රික් ඉබ්සන්ගේ ඩෝල්ස් හවුස් නාට්‍යයේ ක්‍රොග්ස්ටඩ් කියලා චරිතයක් තියෙනවා. ඒ චරිතය කියනවා 
ජීවිතේ මට උගන්නලා තියෙන්නේ ලස්සන කතා විශ්වාස කරන්න එපා කියලා 
දෙබසක්.  මේ පොත කියෙව්වම මට ඒ කතාව මතක් උනා. 

මම මෙච්චර කල් හිතාගෙන හිටියේ K.K ගේ පොත් කියවලා එයා අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, නීතියේ, ආගමේ, සංස්කෘතියේ තියන තියන මේ යල් පැනලා ගියපු, හන මිටි, අසංස්කෘතික, පාදඩ මතවාද වලට නිර්දය විදිහට පහර දෙන සාහිත්‍යකරුවෙක් විදිහට. නමුත් මේ පොත කියෙව්වම තේරුනා ඔහු ආගම සහ සංසකෘතිය ප්‍රශ්ණ කලාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතිය පිළිගන්න යටහත් වැසියෙක් කියයලා. 

අපේ රටේ දණ්ඩ නීති සංග‍්‍රහයේ 365 / 365(අ) වගන්ති අනුව සමලිංගික සේවනය අපරාධ වරදක් විදිහට දක්වලා තියෙනවනේ. නමුත් ලිංග වෙනස් කරගන්න නීතියෙන් අවසර තියෙනවානේ. 

K.K.ත් මේ පොතේ සමලිංගික සේවනය අපරාධ වරදක් වෙන නිසා Lesbian වෙලා හිටපු නතාශාව හාමුදුරුවන්ට බාර දෙනවා.  ලිංග වෙනස් කරගන්න නීතියෙන් අවසර තියෙන නිසා ලිංගය වෙනස්කරපු උමයංගනාව රජීව්ට බාර දෙනවා. 

දැන් අපිට මේ කියන්නේ මේ රටේ නීතියට අනුව ජීවත් වෙයල්ලා. එහෙම උනොත් උබලට සතුටින් ජීවත් වෙන්න පුලුවන් කියලනේ. 

මේ පොත ගැන දැනගත්තම ඔහුට රාජ්‍ය අනුග්‍රහය අනිවාර්‍යයෙන් ලැබෙනවා. මොකද මේ වෙලාවේ දණ්ඩ නීති සංග‍්‍රහයේ ඔය වගන්ති දෙක නිසා අපි UN එකේ එහෙම සෑහෙන පචවෙලා ඉන්නේ. අන්තර්ජාතික බලවේග එකක් කියනවා. රාජ්ය තුල බලවේග ඒකේ අනිත් පැත්ත කියනවා. මහජනතාව ඔය දෙකම කියනවා. ආණ්ඩුව ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ වෙලා තියෙන්නේ.. මේ පොත මේ වෙලාවේ එයාලට පිපාසෙන් දිව ගිලෙන්න ඉන්න වෙලාවක වතුර විලක් හම්බ උනා වගේ වෙයි.
K.K.ගේ පොතේම තියනවා මෙහෙම

දවසක එයා දඩයමේ ගිහින් හති වැටිලා පිපාසෙට වතුර බොන්න විලක් ලගට ගියා. ඒ විල හරිම ලස්සනයි.දූවිලි නොබැදුනු කැඩපතක් තරම් නිර්මලයි. කවුරුවත් අවුරුදු ගාණකින්, මිනිහෙක්වත්, සතෙක්වත්, දෙවියෙක්වත් ඒ විලට ඇවිත් තිබුණෙ නෑ. ඒක උගුලක්... ඔයගොල්ලන්ටත් ඒ විල මුණගැහුනොත් පරිස්සම් වෙන්න.. නැත්තං......

මට කියන්න තියෙන්නේ 
ඔගොල්ලොත් මේ පොත මිලදීගත්තොත් පරිස්සම් වෙන්න... නැත්තං....

ලිංග ඡේදනය කියන සංකල්පයක් තියෙනවනේ. ඒක ආදී සංකල්පයක්. රජකාලේ දඩුවමක් විදිහටත් පුරුෂ ලිංගය කපන එක කරලා තියෙනවනේ. තාමත් මුස්ලිම් අය පුරුෂ ලිංගයේ අග කොටස ඉවත් කරනවා.(සුන්නත් කරනවා)ස්ත්රීන්ටත් ලිංග ඡේදනයක් තියෙනවා. ඒකෙදී ස්ත්‍රී ලිංගයේ සංවේදී කොටස් ඉවත් කරනවට අමතරව විවරය කුඩා කරනවා. ඒක ලිංගික තහංචියක් විවාහය තෙක්. පළමු වර සංසර්ගයේදී ඒක ඉරෙන්නේ ඇය ලිංගිකව හැසිරෙන පුරුෂයාගේ ලිංගයේ ප්රමාණයට විතරයි. එතකොට ුරුෂයාට තම ලිංගයේ ප්‍රමාණය ගැන තියන ප්‍රශ්ණ ටිකත් විසදෙනවා. අනිත් අතට එක පාරක් ඉරිලා වේදනාව ගැහැණිය විදීමෙන් පස්සේ වෙනත් පුරුෂ ලිංගයක් ඇතුලු කරගැනීමට ඇයට ඇති දෛර්‍ය නැති කරවනවා. ඒකෙන් ස්ත්රියගේ චපලකමට විසදුමක් හම්බවෙනවා.

ලිංග ඡේදන සංකල්පයේ  Modern version  එක තමා උපතේ අඩුපාඩු හදා ගැනීම දක්වා පරිවර්තනය වෙන්නේ. පුරුෂ මූලික මතවාද මත ගොඩනගපු වෙළද ලෝකය තමා මේ Modern version  එක දිගට අරගෙන යන්නේ.  ස්ත්‍රීන්ගේ තං ලොකු මදි කියලා සිලිකන් කෑලි දෙනවා. පස්ස මැස්සෝ බීලා වගේ කියලා රබර් පස්සවල් විකුණනවා. හම රැලි වැටිලා / අව පැහැ ගැන්වෙලා / රූපේ මදි කියලා කියලා රූපලාවන්‍ය ද්‍රව්‍ය වල ඉදලා ඔපරේෂන් එක වෙනකං විකුණනවා. ඉන්ජක්ෂන් විකුණනවා. කොටින්ම කියනවා නම් ඇගේ වැවෙන මයිල් හේ දිග පාලනය කරන්න පවා ප්‍රඩක්ට් හදලා තියෙන්නේ. නැවත ගේන්නේ ස්ත්‍රිය සම්පූර්ණ මනුශ්‍යෙයකු නොවේ කියන සංකල්පය. ශිෂ්ටාචාරය පුරා එක තැනක් වෙනකම් ස්ත්‍රිය අසම්පූර්ණ මනුශ්‍යත්වය දරාගෙන ඉදලා එතනින් පස්සේ මේ අසම්පූරේණත්වය ප්‍රතික්ෂේප කරනවනේ. ස්ත්රිය නොපවතී කියන සංකල්පයට එරෙහිව අරගල කරනවා. ස්ත්‍රීන් මිනිසකු ලෙස තමාව සොයාගෙන ඉදිරියට නවා.

මේ යාමෙන් පුරුෂයාට අහිමි වෙනවා ඔහු ශිෂ්ටාචාරය පුරා ගොඩනගපු, ගොඩනගන්න උත්සාහ කරපු පුරුෂ මූලික ස්ත්‍රිය.

එතැනදි පුරුෂයාත් සමාන මනුශ්‍යෙයකු ලෙස තම ශිෂටාචාරයේ ගැහැණිය සමග ඉදිරියට යාමක් වෙනුවට ඒ ස්ත්‍රිය අහිමි වීමේ හිස් තැන පුරවන්න ආදේශ කරගන්නවා   trance Gender ගැහැණිය. පුරුෂ මූලික මතවාදය රැකගන්න කරපු සාර්ථකම ක්‍රමය තමා දැන් ඉන්න Trans Gender ගැහැණිය නිර්මාණය කිරීම. එතන ඉන්නේ ගෑනියෙක්. පුරුෂ ලෝකය බලාපොරොත්තුවෙන පරිපූර්ණ ගැහැණිය තමා ඒ ඉන්නේ.  සංක්‍රාන්ති ලිංගිකයෙක් නෙමේ. 

මේ පොතේ රජීව් - උමයන්ගනා හරහා කතා කරන්නේ ඒ සංකල්පය.

රජීව් කියනවා 
කිසිම වෙනසක් කවදාවත්ම දැණුනෙ නෑ. මට හිටපු අනිත් සේරම ගෑණුන්ටත් වඩා මාරයි. ඒ හිටපු එක ගෑණියෙක්ටවත් මං එහෙම ආදරේ වුනේ නෑ. මාව පිස්සු වට්ටන්න තරං මාරයි.
පරිපූර්ණ ගැහැණිය අත්පත් කර ගැනීමයි මේකේ රජීව් කරන්නේ.

උමයංගනා කියනවා මගේ ඉතිහාසය අමතක කරන්න කියලා. මොකද උමයංගනාගේ ඉතිහාසයේ ඉන්නේ පිරිමියෙක්. උමයංගනාගේ ඉතිහාසය අයින් කරාම  තමයි ඉන්නේ පූර්ණ ගෑණියෙක්.

අවසානයේ දී රජීව් කියනවා 
උමයංගනා මට මගේ ඇතුළේ ඉන්න පිරිමියව මරා ගන්න උදවු කරන්න කියලා. 
ආපහු පිරිමියා තම පුරුෂත්වය අතහැර මනුශ්‍යත්වය වෙත එන්න කැමති වෙන්නේ පුරුෂ ලෝකය බලාපොරොත්තු වෙන පූර්ණ ස්ත්‍රීත්වය තබා ගැනීම වෙනුවෙන් මිසක් මනුශ්‍යත්වය තබා ගැනීම වෙනුවෙන් නෙමේ. මේක Trans Gender ස්ත්‍රීන් එක්ක පුරුෂයන් ගහන ඩීල් එකක්. (ඩීල් ගහනවා කියන අපිට එක කජු කනවා වගේ සිම්පල් දෙයක්නේ.)

ඔබ දන්න Trans Gender ස්ත්‍රීන් සහ විශම ලිංගික ස්ත්‍රීන් ගැන හිතන්න. පුරුෂයා හදන ස්ත්‍රී මොඩ්ල් එක Trans Gender ස්ත්‍රීන් මිසක් විශම ලිංගික ස්ත්‍රීන් නෙමේ කියලා ඔයාලටම තේරෙයි.

අනිත් පැත්තට Trans Gender අය ගත්තාම Trans Gender වෙලා ඉපදුන අයගේ ජනප්‍රියම කතාව "nature made a mistake."  කියන එක. මේක 1952 කාලේ ජෝගෙන්සෙන් (Jorgensen) කියන ඇමරිකාණු ට්‍රාන්ස්  තරුණිය තමන් ලිංගය වෙනස් කරන සැත්කම (gender reassignment surgery) කලා කියලා පළමු වරට ප්‍රසිද්ධියේ කීමත් එක්ක ජනප්‍රිය වෙන කතාවක්. ඇය1967දී තමන්ගේ ජීවිත කතාව ලියනවා. ඒක චිත්‍රපටයක් වෙනවා. ඒ වගේම Trans Gender අයට විද්‍යාත්මක නමකුත් දෙනවා Gender Identity Disorder (GID) කියලා.

මේ පොතේ උමයංගනා කියනවා 
මට ඉස්සර ඉදන්ම දැනුණා මගේ ඇතුළෙ ඉන්නේ පිරිමියෙක් නෙමේ කියලා. මාව පිළිසිදිද්දි වැරදි ආත්මයක් වැරදි සරීරෙක පිළිසිදගෙන කියලා පස්සේ මං තේරුං ගත්තා. ඉතින් තායිලන්ඩ් වලදි මං ඒ වැරැද්ද හරිගස්ස ගත්තා.
K.K. ගේ මේ පොතේ උමයංගනා තමා ඒ nature made a mistake සංකල්පය අතිශයෝක්තියේ, කූට ප්‍රාප්තියට නැංවීමේ, සාහිත්‍යමය තලයක කරපු පළමු ලාංකීය හෙලිකිරීම. (මීට කලින් තනි තටුවෙන් පියාඹන්න / ෆ්රැන්ජිපානි   සිනමා නිරිමාණ මේ විශය පිළිඹදව ලංකාවේ කරපු නිරිමාණ වෙනනේ. ඒවායේ එක තැනකින් එහාට මේක ලිංග ජේදනය කතාව දක්වා ගෙනාවේ නෑ. ඒකයි පළමු ලාංකීය හෙලි කිරීම කියන්නේ)

හැමදාමත්  වගේ K.K.  ගේ වැඩ.දන්නවනේ... එයාම කියනවනේ  
සංස්කෘතික බෝම්බ..!! 

Trans Gender අයට ස්වාභාව ධර්මයෙන් වෙච්ච මේ වැරුද්ද හදලා දෙන්නේ හෝමොන් වලිනුයි, සැත්කම් වලිනුයි. ඒ සැත්නම් වලට කියන්නේ SRS (Sex realignment surgery) කියලා. Gender reassignment surgery කියලත් කියනවා. සැත්කමයි, හෝමොන ප්‍රතිකාරයි කලාම ඉන්නේ නැවත පරිපූර්ණ ගැහැණියයි - පිරිමියයි.

K.K  ගේ මේ පොතේ උමයංගනගේ  ඉදලා  උමයංගනා දක්වා එන පරිවර්තනය කොටස සම්පූර්ණයෙන්ම ඒ සැත්කම් වෙළදාමට ගහපු ඇඩිවටිස්මන්ට් එකක් වගේ. මේකේ විස්තර කරනවා නැති වෙන්න. මටත් ආස හිතුනා මගේ ස්ත්‍රී ලිංගයත් පුරුෂ ලිංගයක් කරගෙන මේ අත්දැකීම ලබන්න. මම හෙවුවා මේ සැත්කම් වල වාර්තා. එහෙම ඒවා හොයාගන්න එක හරිම අමාරු වුණා. මම අමාරුවෙන් ඇමරිකාවේ කරපු හෝමොන ප්‍රතිකාර වල පර්යේෂණයක් අමාරුවෙන් හොයාගත්තා.  
   
ඊස්ට්‍රජන් (Estrogens)  සහ  සයිප්‍රෝටෙරොන් ඇසිටේට්(Cyproterone Acetate) කියන හෝමෝන වලින් වයස අවුරුදු15 to 64 ගැහැණියක් බවට පත්වීමේ ප්‍රතිකාරය (Male-to-Female Transsexuals) කරපු 303 කියැදියකින් මේ පර්යේෂණය කරලා තියෙන්නේ.

ප්‍රථිපල-
අධි කම්පනය (Hypertension (> 1 60/95 mmHg) 14 දෙනෙක්.
මානසික ආතතිය (Depressive mood change)   25 දෙනෙක්.
අක්මාවේ එන්සයිම වැඩිවීම (Elevation of liver enzymes)   2ක්.
පසු කම්පනය(After trauma)  2 ක්.

මේ 303 දෙනාගේ නියැදියේ මරණ 12ක් වාර්තා වෙනවා. ඒ අතර හේතුවක් හිතාගත නොහැකි මරණ (Without clear cause3ක් සහ සියදිවි නසාගැනීම් (Suicide) 3 ක් වර්තා වෙනවා.      

නමුත්  ලිංග ඡේදනය කරන්න ගිහින් සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක ගැන වාර්ථා එකක්වත් හම්බවුනේ නෑ.. ඇමරිකාවේ 2016 දී සැත්කම් 3200 කලා කියනවා. ඒ අගය 2015 එක්ක බැලුවාම 20% වැඩි වීමක් කියලා වාර්තා වෙනවා.

තවම විධිමත් සංවාදයක් තියෙන්නේ ඔවුන්ට ගෞරවනීය මිනිසුන් ලෙස ජීවත් වීමේ අයිතිය ලබාදීම සහ සමාජයෙන් එන හිරිහැර වැලැක්වීම කියන තලයේ විතරයි..   

අපේ අය ගොඩක් යන්නේ මේ පොතේ කියනවා වගේම බැංකොක් වලට තායිලන්තේ. ලෝකයේ වැඩිම සැත්කම් ප්‍රමාණයක් කරන රට තායිලන්තේඑහේ සම්පූර්ණයෙන්ම වළෙද මාෆියා එකක් ක්‍රියාත්ම වෙනවා කියලා හිතෙන්නේ. මුලුමනින්ම වෙළද අරමුණු මත තමා මේ සැත්කම් මූලික වෙලා තියෙන්නේ. බැංග්කොක් වල පිළිගත හැකි කිසිම වෙබ් සයිට් එකක් මේ සැත්කම සහ සැත්කමෙන් පස්සේ  සිද්ද වෙන්නේ මොකක්ද කියන එක ගැන විධිමත් වාර්තා මට හමුබවුනේ නෑ. දන්නේ නෑ මේක කරන්න ගිය අයට  මොකද වෙන්නේ. කලාට පස්සේ මොකද වෙන්නේ කියලා. මේක මරණය එක්ක කරන සෙල්ලමක් එක්තරා විදිහකට.

මේ පොත කියවන, මේ ඔපරේෂන් එක කරගන්න එක ගැන හීන දකින අයට තවත් මේ පොතෙන් විශාල උත්තේජනයක් දෙනවා. මෙච්චර කල් බය නිසා මේක කරගන්නේ නැතිව හිටපු අය මේ පොත කියවලා ගිහින් ඒක කරගෙනී.  ඔපරේෂන් එක හරියන අය K.K ට ස්තූතිවන්ත වෙයි. නමුත් මේක කරගෙන විදවන අය, මියයන අය සහ ඒ අයගේ පවුල්වල අයට කියන්න K.K ට උත්තරයක් හොයා ගන්න වෙනවා.
(මදැයි පොතක් ලියලා මූණදෙන්න වෙන ප්‍රශ්ණ...)

Trans Gender අය තමන්ගේ ජීවිතේ අනතුරේ දාගෙන මේ වැඩේ කරන්නේ ස්වාභාව ධර්මයට වැරදිලා කියලා අපි හදල දුන්න සංකල්පය එක්ක. වැරැද්ද හදාගන්නනේ යන්නේ. මේක සම්පූර්ණයෙන්ම වැරදි සංකල්පයක් විදිහටයි මමනම් සලකන්නේ. මම මේක කිව්වා මගේ පිරිමි යාලුවෙක් එක්ක. එයා මගෙන් අහපු පළවෙනි ප්‍රශ්ණේ තමයි 
ඔයාට ඉරිසියයි නේද?
එයා ඒ මගෙන් අහපු ප්‍රශ්ණේ හරි. මේ Trans Gender ස්ත්‍රීන් එක්ක පුරුෂයා දිනා ගන්න ස්ත්‍රියට තරගයක් ඇති වෙනවා. එතනදි පුරුෂ සමාජයට ස්ත්‍රින්ව black mail කරන්න පුලුවන් වීමේ තර්ජනයක් තියනවා. ස්ත්‍රින් මනුශ්‍යයන් ලෙස තමන්ව හොයාගෙන යන ගමන වලක්වන්න අවියක් විදිහට ඔවුන් පාවිච්චි කිරීමේ හැකියාව පුරුෂ සමාජයට තියෙනවා.

නමුත් මම nature made a mistake සංකල්පය පිලිනොගන්නේ වෙන හේතුවකින්.

මම පරණ අහපු ජන කතාවක් කියන්නම්. 
"එක කාලෙක රජ කෙනෙක් හිටියා. මේ රජතුමාට කකුලක් කපන්න වෙලා කිහිලි කරු වලින් යන්න උනා. මේක රජුට දරාගන්න බැරි වේදනාවක් වුණා. රටවැසියෝ කකුල් දෙකෙන් යනවා දැකලා මේ රජුට තමන් ගැන ඇතිවෙච්ච වේදනාවේ ප්‍රථිපලය වුනේ රාජ අඥාවක් නිකුත් කිරීම. ඒ තමයි රාජ්‍යයේ සියලුම වැසියන් කිහිලි කරුවලින් යා යුතු වීම. රාජ අඥාව නිසා රටවැසියොත් කිහිලි කරුවලින් යන්න් පටන් ගත්තා. ඔහොම කාලයක් ගියා. ඒ රජු මැරුණා, තව රජවරු ආවා. කිහිලි කරුවලින් යන එක මිනිස්සුන්ගේ සාමාන්‍ය තත්වයක් වුණා."
"නමුත් එක දවසක් එක මනුශ්‍යයෙක් හිතුවා අපි ඉපදෙනකොට කිහිලි කරුවලින් යන්නේ නෑනේ... ඇයි අපි ජීවත් වෙන්න පාවිච්චි කරන්නේ. ඒවා නැතිව ඇවිදින්න පුලුවන් විදිහක් තියෙන්න ඕන කියලා තමන්ගේ කිහිලි කරු අතෑරලා තනියම ඇවිදින්න විදිහක් හොයන්න් පටන් ගත්තා. මිනිස්සු හිනා වුණා, බැන්ණා, තර්ජනය කලා ඒක නවත්තන්න. නමුත් ඔහු තමන්ගේ උත්සාහය අත්හැරියේ නෑ..."
"එක දවසක ඔහු හොයා ගත්තා කිහිලි කරු නැතිව ඇවිද යන විදිහ"

Trans Gender අයටත් nature made a mistake කියන කිහිලි කරුව එක්ක ඔවුන් උපතින් අරගෙන එන ශරීරය සහ ලිංගිකත්වය විදීමේ හැකියාව සහ අයිතිය ඔවුන්ට මේ සමාජය නැති කරලා දාලා තියෙන්නේ කියන එක තමා මගේ හැගීම.

හරියට පිටතට පේන්න තියන ලිංගයක් අහිමි වීම නිසා ස්ත්‍රීන් මානව ශිෂ්ටාචාරය පුරා මනුශ්‍යෙයක් ලෙස පැවතීමට ඇති හැකියාව, අයිතිය සහ ඇගේ ලිංගික තෘප්තිය අහොසි කලා වගේම...

ස්ත්‍රීන් මරු වලවල් වල වැටි වැටී ශිෂ්ටාචාරය පුරා දූශණය වෙලා, හිර ගෙවල්වල ලැගලා, මැරිලා, සියදිවි නසාගෙන අද මේ ඉන්න තැනට ඇවිත් තියෙන්නේ. තාමත් ස්ත්‍රීන්ට පූර්ණ මානව අයිතිය සහ ලිංගික අයිතිය මිනිස් සමාජයේ හිමිවෙලා නෑ.. ස්ත්‍රීන් ශිෂ්ටාචාරය පුරා වැරදි වැරදි හරි පාරක් කපා ගත්තා. 

නමුත් Trans අයට එහෙම බලාපොරොත්තුවෙන්න බෑ.. මොකද පාරක් කපනවා වෙනුවට ඔවුන් කරන්න පටන් අරන් තියෙන්නේ තමාව කපාගන්න එක.

මේක කරන්නේ පුරුෂ මූලික මතවාද මත ගොඩනගපු වෙළදපොල. පුරුෂ මූලික මතවාද වලින් වෙළදපොල ගොඩනැගුවට, වෙළදපොල ක්රියාත්මක වෙන්නේ මුදල් එක්ක. ඒකේ පාලනය පුරුෂයාට නෑ. පුරුෂයාට විතරක් නෙමේ දෙවියන්ටවත් නෑ..
වෙළදපොල දෙවියන්වත් කපලා කොටලා අවශ්‍ය විදිහට හදාගෙනනේ  තියෙන්නේ..
දැනට අපිට තියන්නේ මේ ගෑණු / පිරිමි අච්චු දෙක විතරයි. මේ දරුවා ඒ දෙකෙන් එකකටවත් දාන්න බෑ.. අපිට අලුත් අච්චු හොයා ගන්න වෙනව "  කියලා නෙමේ අපිට කියන්නේ...
"මේ දෙකට දාන්න බෑ...වැරැද්දක් වෙලා... අඩුවක් වෙලා" කියලා.   

Trans Gender ලමයි හිතන්නෙත් එහෙම. ඒ ලමයින්ගේ දෙමව්පියොත් හිතන්නේ එහෙම. ඔතනට වෙළදපොල එනවා ... ඔවුන්ට කියනවා, 

එන්න... එන්න... වැරදි හදා ගන්න.. වැරදිලා එලියට ඇවිල්ලා තියන ඒවා ඇතුලට දාලා දෙන්නං ..ඇතුලට ගිහින් තියන ඒවා එලියට අරන් දෙන්නං....
හැබැයි සල්ලි වලට”  
 සල්ලි... සල්ලි.... සල්ලි වලට විතරයි... සල්ලි...

වැඩි දෙයක් ඕන නෑ... අපිට එදිනෙදා ජීවිතේ ඉතාම සුලු මිලදීගැනීම් වල ඉදලාම ඒක වෙනවනේ.. අපි ගන්න ගිය දේ වෙළදපොලේ නැතිනං, වෙළදපොල අපිට ඒ ගොල්ලෝ හදලා තියන එක කොහොමහරි ඇගේ ගහනවනේ.. අපි ඒවා අරං ඇවිත් ඒක අපේ අවශ්යතාවය එක්ක ගලප ගන්න මාර කට්ටක් කනවනේ....

මට Trans Gender ගැන තියන පැහැදිලිකිරීම තමා 

ඔවුන් ස්වාභාව ධර්මයේ වැරැද්දක් නෙමේ ඔවුන් ස්වාභාව ධර්මයේ පරිනාමය කියලා. ඔවුන් තමා මිනිස් පරිනාමයේ ඊලග අවස්ථාව කියලා. මම හිතනවා පරිනාමයේදී මිනිසා අත්කරගත්ත ගැහැණු පිරිමි මොඩ්ල් එක වෙනස්වීම ඇරඹිලා තියෙන්නේ කියලා. .
වර්තමාණයේ Trans Gender අය සංඛ්‍යාත්මකව ගත්තාම,
ඇමරිකාවේ මිලියන 1.4 ක්
යුරෝපියන් යූනියන් එකේ රටවල් වල මිලියන 1.5 ක්
ඉන්දියාවේ මිලියන 4.9ක්.

ලංකාවේ....?? ලංකාවේ එක්කෙනෙක්වත් නෑ.. විනය පිටක වල කුසල් පල දීලා...

ලෝකේ හැම රටකම Trans Gender  අයගේ සංඛ්‍යා ලේඛන මේකට ආසන්න ප්‍රමාණ වලින් තියෙනවා.. ඇත්තම ප්‍රමාණ මීට වඩා ගොඩක් වැඩි වෙන්න පුලුවන්... මේවා වාර්ථා වෙච්ච ඒවා විතරයිනේ.. මෙහෙම බලනකොට අනාගතේ සියලුම ඝර්භාෂ වල උපදින්නේ Trans Gender දරුවන් වෙන්න පුලුවන්.

මම කැමතියි මගේ ඝර්භාෂයේ Trans Gender දරුවෙක් උපදිනවට. 

මම කැමතියි දරුවා ඇගේ කෑලි කපාගන්නේ නැතිව ස්වාභාව ධර්මයෙන් ඔහු හෝ ඇය ලබපු පරිනාම‍යේ ප්‍රතිලාභ  සොයා ගන්නවා දකින්න. භුක්ති විදිනවා දකින්න. අතීතය සගවා නොගත්  තමන්ව සොයාගත් මනුශ්‍යෙයක් විදිහට මේ ලෝකේ ජීවත් වෙනවා දකින්න.

ඔවුන් ස්වාභාව ධර්මයේ පරිනාමය කියලා මම කිව්වට මට අද මේ මොහොතේ ඔවුන් ස්වාභාව ධර්මයේ පරිනාමයමයි  කියලා ඔප්පු කරන්න මට නිත්‍ය සාදක නෑ.. මොකද අනාගතේ දෙයක් ගැනනේ කියන්නේ.. ස්වාභාව ධර්මයේ වෙස්වීම අපිට අපේ ජීවිත කාලේ පේන දේවල් වලින් මනින්න බෑනේ. අපේ ජීවිතේ ලොකේ එක්ක ගත්තම තිතක් වගේ.   ඒ තිත ඉන්න ටිකටනේ අපි මේ විකාර ගොඩක් කරන්නේ..

නමුත් වානරයා අද දක්වා පරිනාමය උනානං  සංක්‍රාන්ති ලිංගික මිනිසා මෙතනින් එහා අපේ පරිනාමය නොවේය කියන්න ඔබට බෑ.. අද අපි ඉස්සරහට ආදී වානරයෙක් ඇවිත්.. 
මේ ඔයා කෙලින් හිටගෙන ඉන්නේ. ඔයාගේ අත් දෙක ඔයාගේ ශරීරයේ බර දරාගැනීමට යොදා ගන්න එකෙන් ඔයා නිදහස් වෙලා.. ඕක වැරදියි... මෙන්න මං වගේ හතරෙන් ඇවිදින්න 
 කිව්වට අපි ඒක කරන්න යනවද?මොකද අද අපි දන්නවා අපි ඌව පහු කරලා ඇවිත් ඉන්නේ කියලා. අපි ඌව පහු කරලා ඇවිල්ලා ගොඩක් දේවල් කලා කියලා...

නමුත් අපි දැන් මේ දිගින් දිගටම කරමින් ඉන්න ස්භාවධර්මයේ වැරදි හදන්න යාමෙන්, මේ Nature made a mistake කියන සංකල්පය එක්ක ඒගොල්ලන්ගේ අනන්‍යතාවය හොයාගෙන යන්න තියන ඉඩ සහ තමන් පරිපූර්ණ මිනිසුන් ලෙස තමාව හදුනා ගැනීම මුලුමනින්ම නැති කරලා වහලා දාලා,ආපස්සට කරකවලා, විනාශ කරලා, කුඩුපට්ටම් කරලා තියෙන්නේ... හරියට අවුරුදු උත්සවේ අලියට ඇහැ තියන්න යනකොට ඇස් බැදලා කරකවලා කරකවලා තිබ්බා වගේ....

නමුත් අනිත් පැත්තට ඒක කාලය පිළිඹද ප්‍රශ්ණයක් පමණක් වෙන්නත් පුලුවන්.. නමුත් අනවශ්‍ය කාලයක් ගෙවලා, කෙලවිලි ගොඩකට පස්සේ තමා මේ යන විදිහට ඔවුන්ට තමන්ව හොයාගන්න වෙන්නේ.. ඒකට සෑහෙන කාලයක් ගතවෙයි.. දුක් කන්දරා ගොඩක් දරාගන්න සිද්ධ වෙයි...  ජීවිත ගානක් බිලිගනී...

අර ජන කතාවේ කිහිලිකරු අතෑරලා තනියම ඇවිදින්න පටන් ගත්ත තැන හොයා ගත්තා වගේ අනාගතේ කවදහරි දවසක Trans Gender අයත් තමන්ගේ පැවැත්මේ සත්‍ය සොයා ගනී. එහෙම සොයා ගත්ත දවසක් වෙනකම් K.K ඉන්න එකක් නෑ.. මමත් නෑ.. අද ජීවත් වෙලා ඉන්න අපි කවුරුවත් ඉන්න එකක් නෑ.. නමුත් අවුරුදු  2500 කට කලින් ඒවා අද දක්වා තියෙනවා වගේ අපේ ලිඛිත සාහිත්‍යට K.K එකතු කරපු මේ අර්ධ නාරී‍ තියේවි. එදාට මේ පොතට ඔවුන් මොනවා කරයිද කියලා මටනං හිතා ගන්න බෑ..

ඒ එදාටනේ.. අපි අද ගැන කතා කරමු...

ඒ අනාගත කතා කොහොම උනත් හැමදාම වගේ K.K ගේ නිර්මාණ වලින් අපේ සමාජය තුල ඇතිවිය යුතු, අපට මගහැරෙන,එහෙම නැතිනම් අපි ඕනෑකමින්ම මගහරිමින් ඉන්න සමාජ කතිකාවන්  ඔහුගේ නිර්මාණ හරහා අපේ සමාජයට මගහැර යා නොහැකි විදිහට අරගෙන එනවා. හුගේ නිර්මාණ වල මම දකින සුවිශේෂම කාරණය ඒක. නිර්මාණකරුවකුට නිර්මාණයක් හරහා තමන්ගේ සමාජයටකරන්න පුලුවන් උපරිම දේත් ඒක.

අපේ නිර්මාණ කරුවෝ කියලා කියාගන්න ව්‍යාපාරිකයෝ දිගින් දිගටම බාල කුණුහරප අපිට බලෙන් ගෙදර ගෙනියන්න සලස්සනකොට හු තව කාලයකට අපේ සමාජයට අතිශය තීරණාත්මක විදිහට බලපාන ඇත්තක් අපිට ගෙදර ගෙනියන්න සලස්සනවා.   

මිනිසෙක් විදිහට තවත් මිනිසෙක් වෙනුවෙන්, මිනිස් සමාජයක් වෙනුවෙන් මේ කරන නිරිමාණාත්මක මැදිහත්වීමට ඔහුට අප ස්තූති කල යුතු නොවේද??

ලංකා බණ්ඩාරනායක.