Thursday, November 16, 2017


මේ පොතේ භාෂාව හොදටම මට අලුත්.. සහ ආකෘතිය ඊටත් වඩා අලුත්... ඇත්තටම අලුත් කියන එකත් ගැලපෙනවද කියලා මට නිශ්චිතවම කියන්න බෑ... මම මේකට අලුත් කියනවා නම්.. කොච්චර අලුත්ද කියනවා නම් අලුත්ද කියලා හිතාගන්නවත් බැරි තරම් අලුත්.... ඒ නිසා අදහසක් කියන එක හරිම දුශ්කරයි. මොකද අදහසක් එන්න ඕන අදහසක් කියන්න.
 
මම හොයලා බැලුවා මේ පොත ගැන මේ වෙනකොට ඇති වෙලා තියන සංවාද මොනවද කියලා. එහෙම හොයාගෙන යනකොට මට හම්බ වුනා ප්‍රභාත්ම එයාගේ පොත ගැන කියලා තියෙන දෙයක්. මට හිතුනා යම් අදහසක් ප්‍රකාශ කරන්න ඒක හොද ප්‍රෙව්ශයක් කියලා.
 
උපුටා ගැනීම - 'ජනයුගය' පුවත්පත (21/05/2017)
ප්‍රශ්ණය ඔබ විසින් රචනා කළ හිරුත් එක්ක හෙලුවැල්ලෙන්නවකාවෙන් ඔබ සමාජගත කිරීමට උත්සාහ කළ අදහස මොකක්ද..?
 ප්‍රභාත්ගේ පිළිතුර
ඇත්තටම මම ලියූ නවකතාවෙන් නිශ්චිත අදහසක් සමාජගත කිරීමට උත්සාහ කළේ නෑ. එහෙම දේශපාලන උවමානවක් මට තියෙනවා උනත් එතනදී මම ලියන්නේ නවකතාවක් නෙමෙයි. වෙනත් ලියවිල්ලක්. හැබැයි මම රචනා කළ නවකතාවෙන් මම උත්සාහ ගත්ත යමක් තියෙනවා. ඒ තමයි හිරුත් එක්ක හෙලුවැල්ලෙන්කෘතියේ සන්දර්භීය කාල-අවකාශය වන 1989 රෝහණ විජේවීරගේ ඝාතණයේ ඉඳලා 2009 වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ඝාතණය දක්වා ගෙවී ගිය විසි වසරක කාල-අවකාශය තුළ පිරිමියාගේ ලිංගික ෆැන්ටසියේ සිදු වී විපර්යාසය සාකච්ඡා කිරීම. හැබැයි මම මෙම කාරණය සාකච්ඡා කිරීමට උත්සාහ කළේ චරිත ගොඩනැගීම, ඔවුන්ගේ හුදෙකලාව-පරාරෝපණය, ඔවුන්ගේ මානසිකත්වය, සිදුවීම්, ගැටුම්, උත්ප‍්‍රාසයන් ආදී සාහිත්‍යයාත්මක අගයන් ඉස්මත්තට අරගෙන. කොටින්ම පැරණි අර්ථයෙන් නවකතාව කියන්නේ යම්කිසි කතාවක් කීමට උත්සාහ කිරීමක් නම් මම උත්සාහ කළේ යම් නිශ්චිත කතාවක් ඉදිරිපත් කරනවා වෙනුවට පිරිමියාගේ ලිංගිකත්වය ගවේෂණය කිරීමටයි. ඒ අර්ථයෙන් මෙහි මුල-මැද-අග සහිත නිශ්චිත කතාවක් නෑ. තියෙන්නේ ලිංගිකත්වය පිළිබඳ හැඟීම් සමුදායක්; උත්ප‍්‍රාසාත්මක ආඛ්‍යායනයක්.
 
පහුගිය කාලේ දිගින් දිගටම sex කතා පොත් රැල්ලක් එන්න පටන් ගත්තා. මේ වැඩේ යුරෝපයේ වුනේ 1970 ගණන්වල ඇති වෙච්ච sex war එකත් එක්ක. ඒ කාලේ මිනිසුන් සාම්ප්‍රදායිකව එතෙක් sex පිළිඹදව තිබුණ මතිමතාන්තර ප්‍රශ්ණ කරන්න සහ නව අදහස් පැතිරෙන්න ගත්තා.  විශේෂයෙන්ම ස්ත්‍රීන්ගේ ලිංගික සහ ලිංගිකත්වයේ නිදහස පිළිඹද සංවාද ඒ කාලේ කැපී පෙනුණා.

ලංකාවේ අපි දැන් තමා ඔන්න වැඩේ පටන් අරන් තියෙන්නේ. නමුත් ලංකාවේ අනිත් හැම ක්ෂේත්‍රයක්ම වගේ සාහිත්‍ය ක්ෂේත්‍රයත් පුරුෂ නිර්මාණකරුවන්ගේ නිර්මාණ බහුතරයක් සමාජගත වෙන නිසා පුරුෂ දැක්මෙන් තමා මේ sex කතා ටිකත් නැවත සමාජ ගත වෙන්නේ. 

ප්‍රභාතුත් හිරුත් එක්ක හෙලුවැල්ලෙන් පොතත් ඒ පොත් ගොඩට දාලා තියෙනවා ඒ රැල්ලටම ගහගෙන යන්න. එයා කියනවා "පිරිමියාගේ ලිංගික ෆැන්ටසියේ සිදු වී ඇති විපර්යාසය" සාකච්ඡා කිරීම එයා කලේ කියලා. ඇත්තටම මම හිතනවා ඒක හරිම Interesting කතාවක්.  සහ කාලෝචිත උත්සාහයක් කියලා.
 
 “පිරිමියාගේ ලිංගික ෆැන්ටසියේ සිදු වී ඇති විපර්යාසය ගැන කරපු අවන්ක ප්‍රකාශණ මටනම් මෙතෙක් හමු වෙලා නෑ. ඔබලාට හමු වෙලා තියෙනවා නම් කියන්න. මම දන්න තරමින් ලංකාවේ මෙතෙක් පුරුෂ නිර් මාන කරුවෝ තමන්ගේ නිර්මාණ වලින්, පිරිමියාගේ ලිංගික ෆැන්ටසි එක එක ප්‍රමාණ වලින්, එක එක විදිහට, හෝද හෝද මඩේ දැම්මා කියලා මම හිතන්නේ. මම එහෙම කියන්නේ අවසානයේ බැලුවම අන්තර්ගතය අතින් එකම තමා හැමෝම කියලා තියෙන්නේ..  
 
පිරිමියාගේ ලිංගික ෆැන්ටසියේ ඉන්න ගැහැණියගේ මූලික ස්වරූපය පැරණි ආගමික ලියවිලි වල, පිළිම වල, සංදේශ කාව්‍ය වල ඉන්න ඉන්න ගැහැණියගෙන් නිරූපනය වෙනවා. ඒ ගැහැණියම තමයි ලංකාවේ මෙතෙක් බිහි වෙච්ච සියළුම සාහිත්‍ය කෘති වල ඉන්නේ. තාම බැරිවෙලා තියෙනවා තිසර තන් වලිනුයි, පුළුලුකුලෙනුයි, නා දලු තොල්විශාල ඇස්, දිග කොන්ඩේ සහිත ගැහැණු රූපයේ සිට ඇඹරිලි, හුරතල් වීම්, මායම් ඇතුළු අමනුස්ස විකාර සහිත එතිහාසික පුරුෂ ලිංගක ෆැන්ටසි වලින් වර් තමාන ගැහැණියට පවා ගැලවෙන්න.

මේ ලගදි මම 2015 දී ලංකාවේ සාහිත්‍ය සම්මාන ගත්ත, සම්මාන වලට නිර් දේශ වෙච්ච, ඉතා ජනප්‍රිය පොතක් වෙන කෟෂල්‍ය කුමාරසිංහගේ මේ රහස් කවුලුවෙන් එබෙන්න පොත කියෙව්වා. රචකයා ගැහැණ චරිත වල පෙනුම විස්තර කරන කොට, සියලුම ගැහැණු චරිත විශාල පියයුරු තියෙන ගැහැණුන් කියලා වෙනම වාක්‍යක් පාවිච්චි කරලා හැම චරිතයක් ගැනම කියලා තියෙනවා. (එක ගැහැණු චරිතයක බාහිර ස්වරූපය විස්තරයක් කරලා තිබුණේ නෑ)

ප්‍රභාත්ගේ ප්‍රධාන ගැහැණු චරිතය නෝනේ ඔහු විස්තර කරන්නෙත් එවැනිම ගැහැණියක් විදිහටමයි. අතරින් පතර දේවතා එලි වගේ ගැහැණු චරිත කීපයක් එනවා එච්චරයි. එයාලා ගැන වැඩි විස්තරයක් ඔහු ගේන්නේ නෑ.

පිරිමියාගේ ලිංගික ෆැන්ටසි විපර්යාස ගැන කතා කිරීම ඔහු කරන්නේ කියලා කිව්වම මම ආපහු පාරක් පොත කියෙව්වා. දෙවෙනි වර කියවීමෙන් මට ආපු හැගීම තමා මේ පොත ලිංගක ෆැන්ටසි වෙනස ගැන ලියපු පොතක් කියන එක තරම් විකාරයක් තවත් නෑ කියන එක. ඔහු කියන අර අවුරුදු 20 ඇතුලේ කතාවේ ඔහු ගේන එකම වෙනස හැංගිලා කරපුවා එලියේ කරන එක විතරයි. මට අනුව ඒක වෙනසක් නෙමේ.

 ඔහු ඇත්තටම කරන්නේ මට අනුව නම් ලිංගික ෆැන්ටසියට පිරිමියා උපයෝගී කර ගන්නා මාධ්‍ය වෙනස් වීම ගැන කතා කිරීම විතරයි. 

අසභ්‍ය පත්තර -  porn video පටි දක්වා වෙනස් වීම ගැන (20 පිටුව), තරුණියන්ට රහසෙන් ආදරය කරමින් පදුරු අස්සේන් හැංගි හොරා ස්ත්‍රී ශරීර නැරඹී, හැංගි හොරා sex කිරීම, sex ගැන කතා කිරීම වෙනුවට වෙළද පොල විසින් sex සහ  නිරුවත ප්‍රසිද්ධියේ වෙළද භාණ්ඩ ප්‍රචාරනයට ගන්න හැටි සහ එමගින් ස්ත්‍රී ශරීර ප්‍රසිද්ධියේ නරඹන්න ලැබුන හැටි කතාවේ තැනින් තැනින් විස්තර කිරීම ආදී දේවල් ටිකක් විතරයි ඔහු කරන්නේ. ඒ ටික ගලවලා ගත්තම පිටු 20 විතර ඇති ඔක්කොම. පිටු 439කින් කියන්න තරම් sex fantasy  කතාවක් එතන නෑ.

පිරිමියාගේ ලිංගික ෆැන්ටසි වෙනස කතා කරන්න වගේ වගේ හදපු ලංකාවේ එකම Novel එකයි මම දැනට කියෙවලා තියෙන්නේ. ඒකේ කතුවරයා ගැහැනියගේ වේදනාව ඇය ලබන සතුට විදිහට දිගින් දිගටම අපිට ඒත්තු ගන්නන්න උත්සාහ කරලා තියෙනවා එක එක විදිහට පොත පුරාම... ඉතිං ඒ ගැහැණිය දුකම කොයි තරම් සතුටක්දෝ... කියලා ඉන්නවා...  අවසානය වෙනකොට Sex සහ sadism අතර වෙනස හොදටම පැටලිලා හොදටම චොර වෙනවා අන්තිමේදී.

මම හිතනවා වර්තමාන ලාංකික මිනිසාගේ ලිංගක ෆැන්ටසි දැන් අඩුම තරමේ threesome, සංක්‍රාන්ති ලිංගික ගැහැණු, SEX toys වගේ දේවල් ගැන තියෙන්නේ, sadism වලට කිට්ටු වෙලාවත් නෑ. නමුත් ලෝකයේ ලිංගක ෆැන්ටසි කියන්නේ ගොඩක් පැතිරුනු විශයක් වෙලා තියෙන්නේ. පාවුලෝ කොයියෝ 11minute උඩින් පල්ලෙන් sadism ගැන කතා කරපු ලංකාවේ ප්‍රසිද්ධ පොතක්.

මම ජර්මනියෙදි සිනමා උළෙලක ඩොකියුමන්ට්‍රි  ෆිල්ම් එකක් බැලුවා.  ඒකේ කතා කලේ පිරිමියාගේ ලිංගක ෆැන්ටසි ගැන. එක මිනිසෙකුගේ ලිංගක ෆැන්ටසිය වෙලා තිබුනේ තමාට මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කෙනා තමන්ව මරලා තමන්ගේ මස් ආසාවෙන්, ආදරෙන් කෑලි කෑලි කන එක.  ඒ ගැන හිතන එකෙන් තමා ඔහු ලිංගිකව පිබිදෙන්නේ.. ඒ ෆැන්ටසිය එන්න බලපාපු හේතුත් ඒ ෆිල්ම් එකේ කතා කරනවා.‍ ඒ වගේ වෙනස් ලිංගක ෆැන්ටසි තියන 4 දෙනෙක්ගෙන් ඒ ෆිල්ම් එක කරලා තිබුනේ..
 
ලංකාවේ අපි ඉන්නේ ලිංගක ෆැන්ටසි සම්භන්ධයෙනුත් අනිත් ක්ෂේත්‍ර වගේම හරිම දුප්පත් තැනක. අපි තාමත් ලිංගක ෆැන්ටසි කියලා හිතාගෙන ඉන්නවා යාලුවාගේ කෙල්ල එක්ක sex කරන එක. එහෙම නැතිනම් ලංකාවේ ඉන්න සියලුම ගැහැණුන් එක්ක යහන් ගත වීම වගේ පටු ක්ෂේත්‍රයක සිරවුනු දේවල් ට්කක්. ප්‍රභාත්ගේ පොතේ ඉන්න ප්‍රධාන චරිතය කඩියාව ඔහු ගේන්නෙත් තමන්ගේ කණ්ඩායමේ නායකයාගේ ගෑණු ලමයා ගැන හීන දකින පිරිමි චරිතයක් විදිහට..
 
ඒ වගේම ප්‍රභාත් කියනවා 89 රෝහණ විජේවීරගේ ඝාතණයේ ඉඳලා 2009 වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ඝාතනය දක්වා ගෙවී ගිය විසි වසරක කාලය ගැන. විවෘත ආර්ථිකයත් එක්ක එක තැනකදි, එතෙක් තිබිච්ච ජන ජීවිතය වෙනස් වෙනවා කියලා අපි දන්නවා. එතකොට ඒකත් එකක් මිනිස්සුන්ගේ ලිංගික ෆැන්ටසියටත් බලපෑමක් වුනා කියන එක ගැන මට හිතා ගන්න පුළුවන්. නමුත් අර ඝාතන දෙක පිරිමියාගේ ලිංගික ෆැන්ටසියට අදාල වෙන්නේ කොහොමද කියන එක ගැන මට දැනුමක් නෑ. එහෙම සම්භන්ධයක් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කරුණාකරලා මට කියන්න. මම ඒ ගැන දැනගන්න කැමතියි.

මමත් ගැහැණියක් නිසා මම සංවේදියි ගැහැණු සම්භන්ධ කර ගනිමින් ලාංකීය පුරුෂයින් කරන ප්‍රකාශණ ගැන. මොකද ලාංකීය සහ  ආසියාතික ගැහැණු පිරිමි බල අරගල ගැන සහ මේ ලාංකීය සමාජය තුල ගැහැණියව ඔවුන් ස්ථාන ගත කරන තැන්, ඒවායේ එහි කාලානුරූපී විචල්‍යන් මට හොයා ගන්න එවැනි පුරුෂ ප්‍රකාශණ වලින් ලොකු support එකක් ලැබෙන නිසා.
 
ගැහැණිය සම්භන්ධ විශයේදී ලංකාව කතා කරන ප්‍රසිද්ධ දෙයක් තමයි 
ගැහැණුන්ට අනිත් ගැහැනුන් ගැන ඉරිසියයි
කියන එක. ප්‍රභාත් පටන් ගන්නෙම එතැනින්. ඔහු ගේන පළමු ස්ත්‍රී චරිතය (16පිට) ඔහු ගේන්නේ අනෙක් ගැහැණුන්ට ඉරිසියා කරන දුශ්ඨ ගැහැණියක් විදිහට. එතැන් පටන් ඔහු ගේන ගැහැණු චරිත (කලින් සදහන් කල දේවතා එලි වැනි එකවර මතුවී අතුරුදහන් වන ගැහැණු චරිත) බහුතරය ඔහු ගේන්නේ අනෙක් ගැහැණුන් ගැන ඉරිසියාවෙන් ඉන්න ගැහැණුන් විදිහට. එහි කූට ප්‍රාප්තියට ඔහු එනවා 346 පිටුවෙදි.. ගැහැණියකට තව ගැහැණියකට කියන්න පුලුවන් දරුණුම වචන ටික දෙබස් විදිහට ඔහු ඒ ගැහැණියට පාවිච්චි කරනවා. ඉතිරි ගැහැණු චරිත දිගින් දිගටම ගේන්නේ සැමියාට හොරෙන් වෙන මිනිසුන්ට මායම් දාන අර බෞද්ධ සාහිත්‍යෙය් ඉන්න චපල ගැහැණිය විදිහටමයි.

ඒ වගේම ඔහු නිර්දය පහර දීමක් කරනවා ගැහැණියට වෙළද දැන්වීම් භාවිතා කරලා. වෙළද දැනිවීම් වල ටයර් බදාගෙන, KFC කුකුල් අඩු පෙන්නගෙන, යට ඇදුම් ඇදගෙන ඇඹරෙනවලු, තටමනවලු ගැහැණු. 

වෙළද දැන්වීම් වලදී ගැහැණු ශරීරය පාවිච්චි කරන්නේ පුරුෂ මූලික වෙළද පොල විසින් කියන කතිකාව ඔහු ගේන්නේ නෑ. ඒ වෙනුවට ඔහු කරන්නේ ඒ වෙළද දැන්වීම් වල පෙනී ඉන්න ගැහැණියට අපහාස කරන එක.

ගැහැණිය කියන්නේ පුරුෂ මූලික සමාජයේම ගොඩනැංවීමක්.  ඔවුන් කරන්නේ පුරුෂ අවශ්‍යතා ඉටු කිරීම. එතෙන්ට තමා ගැහැණු පෞරුෂය ගොඩනංවලා තියෙන්නේ. ගැහැණිය දුරුවලයෙකු විදිහට ගොඩනංවලා, ඇයව පාවිච්චි කරනවා කියන කතිකාව ඔහුට අහු වෙන්නේ නෑ. ඔහු ගේන්නේ ගැහැණිය බලෙන් ගිහින් නිරුවත් වෙලා වෙළද භාණ්ඩ වෙනවා කියන අදහස.

බහුතරයක් අවස්ථා වල අපේ සමාජයේ,  පාවිච්චි නොවී කිසිවක් ගැහැණියට හිමි වෙන්නේ නෑ..

ඒ ගණු දෙනුව තමා ඒ ගැහැණු බේරගන්නේ පිරිමි සමාජය එක්ක. ගණිකා වෘත්තියත් එහෙමයි. වෘත්තීන් වල ඉහලට යන්න ලිංගික අල්ලස් දෙන ගැහැණුත් ඒකමයි කරන්නේ. කලා ක්ෂේත්‍ර වල ඒක හොදටම වෙනවා. අපි කරන්නේ නිලියොන්ට බනින එක. නිලියන්ට වෘත්තීයමය ආකාරයකට තමන්ගේ ක්ෂේත්‍රෙය් ඉන්න බැරි නිශ්පාදන බඩු කාරයෝ අතට ගිහින් තියන නිසයි. එහෙම නැතිනම් බඩු කාරයෝ නිශ්පාදන  අත්පත් කරගෙන තියෙන නිසයි. ඒ කතිකාව අපි මගහරිනවා.

ලිංගිකව පාවිච්චි වීම සහ පාවිච්චි කිරීම එක්ක ඊලගට එන එන ජනප්‍රියම දේ තමා ලිංගික බලහත්කාරකම්. දූශකයෝ අතින් දූශණය වෙලා ඊට පස්සේ පත්තර පිටු වලත් ආයිත් ගැහැණුන් දූශණය වෙන රටක් මේක.. ලංකාවේ උසාවි වල ස්ත්‍රී දූශණ නඩු විසදීමේ වාර්ශික ප්‍රතිශතය 0% ගොඩක් අවුරුදු වල. ඒ වගේම හරියට ගැහැණු කැමැත්තෙන් රේප් වෙනව. පහුගිය දවස් වල දැක්කා ලංකාවේ පොළිස් රිපෝට් වලත් ගැහැණු කැමැත්තෙන් රේප් වෙන ප්‍රමාණයන් දාලා තිබුනා. ඒ වාර්තාවේ පසුව විස්තර කරනවා එහෙම කියන්නේ වැඩිහිටියන් ලෙස සලකන වයස් ගැන ප්‍රශ්ණයක් නිසාලු. නමුත් ඒකට පාවිච්චි කරලා තියන යෙදුම ගැන හිතන්නකෝ. ඒකට දාන්න පුලුවන් ඕන නම් නිසි වයස් නොපිරුණු ලමයින්ගේ ලිංගික ක්‍රියා හරි මොකක් හරි එකක්නේ.. .නෑ... 
ගැහැණු කැමැත්තෙන් රේප් වෙනවා." 
ඒ වගේම ඔබ සමහර විට දන්නවා ඇති ගැහැණු රේප් වෙන්න ප්‍රභලවම බලපාන, ප්‍රධානම හේතුව... ගැහැණු ඇග පේන්න ඇදුම් ඇදන් ගියාමනේ එහෙම වෙන්නේ...  ඇදුම් අවුල් නිසා තමයි ස්ත්‍රීන් දූශණ වෙන්නේ.

ප්‍රභාතුත් ගේනවා දූශණ කතාවක්.. නමුත් ඔහු ගේන්නේ වෙන කතාවක්. පොතේ ගැහැණු එකතු වෙලා කඩියාව සමූහ දූශණය කරනවා.  ඔහු පට්ට බඩු ටිකක් ගෙනැල්ලා ඒ පට්ට බඩු කඩියාව සමුහ අඩන්තේට්ටමකට ලක් කරනවා. ඊට පස්සේ ඒ පට්ට බඩු පසුබැසලා යනවා...  මෙන්න මෙහෙමයි පසු බැසලා යන්නේ...

එක් නෝනෙක් දුවා දරුවන් දෙනයන සේ රැක බලා ගන්නා යහපත් මවක් වී පසුබසින්නට වූ අතරතවත් නෝනෙක්  පසු බැස්සේ සීත මන්දිරයක් තුළ ගොඩගැසූ වෛර් ණ ඉඩු බාහිරාදිය අතරින් සෙනේ සිතින් ගමන් කරන්නියක් ලෙසිනි. රොත්තේ සිටි වෙනත් නෝනෙක් කාර්‍යබහුල නිලධාරිනියක වී සිය සේවා ස්ථානය නංවාලන්නට වෙහෙසෙන්නියක් වන විට, ආගමික් වතාවත් වල සැදැහැ සිතින් නිරත වන්නියක් ලෙසින් පසු බැස්සේ රොත්තේ සිටි තවත් නෝනෙකි. ඉතිරි වූ නෝනේ රබර් කට්ටියක කිරි දියරය කැපීමට දහදිය හෙලීම උදෙසා බඩු බාහිරාදිය ඉහින් කනින් ගෙන ඈත වසමක් කරා පසු බැස්සාය
 
බෞද්ධ සාහිත්‍යෙය් ගැහැණිය ගැන තියන වෛරී සහගත කතාවමයි ඔහුත් නැවත ගේන්නේ.. වැඩිය බෞද්ධ සාහිත්‍ය කියවන්න ඕන නෑ.. ජාතක කතා ටික කියෙව්වම පිරිමි චින්තනයේ ගැහැණිය ගැන වෛරය ගොඩනගලා තියෙන හැටි පැහැදිලි වෙනවා...

උදාහරණ ලෙස කියනවා නම්,

දුරාජාන ජාතකය(ස්ත්‍රී වර්ගය, 27පිට)
ගංගාවද, මහා මාර්ගයද, සුරා හලද, ඉසුඹු හලද, පින්පැන් මඩුවද, යම්සේ සියලු දෙනාට සාධාරණයෝද ලෝකයෙහි ස්ත්‍රීහුද එසේ (වූ පැවතුම් ඇත්තෝ) වෙති.

පදුම ජාතකය (පදුම වර්ගය, 133පිට)
පුරුෂයන්ගෙන් තෘප්ත නොවන්නා වූ මෘදු සම්භාෂණ ඇති පුරව්න්නට බැරි ගගක් සමාන වූ ස්ත්‍රීහු තමාට වසගයන් අපායේ ගිල්ලති. මෙය දැන ඇය දුරින්ම දුරු කරන්න.

ජාතක පාලි - ද්වාදසක නිපාතය(413 පිට, 1656)
(ස්ත්‍රීහු පුරුෂයන්ගේ සිත් බදනා හෙයින්) ලහටු බදු උපමා ඇතියහ. සියල්ල භක්ෂණය කරන ගින්න වැනිය. වහා ගලන දිය පහර ඇති කදුරැලි මෙන් ශීඝ්‍රමායා ඇතියහ. මෙතෙර එතෙර සවේනා නැවක් මෙන් ඔවුහු ප්‍රිය වුවහුද අප්‍රිය වූවහුද සෙවනය කෙරෙත්

සියලු සත්වයන්ට මෛත්‍රී කරන්න කියන බෞද්ධ දර්ශණය ඇතුලේ මේ ඉහත ප්‍රකාශණ ස්ත්‍රිය ගැන මොනතරම් වෛරීසහගත ප්‍රකාශණද කියන එක මේ උදාහරණ වලින් ඔබට සිතාගත හැකි වනු ඇති.

මේ සේරම කතා අස්සේ කට්ටියක් කියනවනේ ලංකාවේ Gender ප්‍රශ්ණ නෑ.. ඒක පවුල් කඩා ගත්ත, විරූපී,  NGO නෝනලාගේ මුදල් ඉපයුම් මාර්ග විතරයි කියලා තමයි ඒ අය හදුනා ගන්නේ.   ලංකාව 2020  වෙනකොට අත්පත් කර ගන්නා තිරසාර සංවර්ධන ඉලක්ක 12 හදුනාගෙන තියෙනවා. ඒකේ 5 වෙනි තැන තියෙන්නේ ගැහැණුන් බලාත්මක කිරීම. ගැහැණු මේ සමාජයේ බලාත්මක කිරීමක් කරන්න මෙතරම් දියුණු මනුශ්‍ය ශිෂ්ටාචාරයේ වසර 2017 දී විශේෂයෙන් වුවමනා වෙන්නේ ඇයි? පවුල් කඩා ගත්ත, විරූපී,  NGO නෝනලාගේ මුදල් උපයුම් මාර්ගය අපේ රට මූලිකයව විසදා ගත යුත ප්‍රශ්ණ 12කින් 5ට ගේන්නේ ඇයි ? ඒකත් පරදේශක්කාර කුමන්ත්‍රණ වල ප්‍රථිපලද?

පහුගිය බජට් එකෙන් ගැහැණුන්ට ව්‍යාපාර කරන්න ණය වලට පොළිය 10% කරලා තිබුණා.  ඒ වගේම ශාරීරික නොහැකියාවන් තියන අයට 15% කරලා දීලා තිබුණා. ශාරීරික නොහැකියාවන් තියන අයට පොලී සහන දෙන එක හරි.. ගැහැණුන්ට? දැන් මේ කට්ටිය කියන විදිහට ලංකාවේ Gender ප්‍රශ්ණ නැතිනම් අපිට හිතන්න වෙන්නේ මේ බජට් එකෙන්, 
ගැහැණියක් වීම = අබ්බගාත වීම 
කියලා හදුනාගෙන තියෙනවා කියලයි.

ආපහු ප්‍රභාත්ගේ පොතට ආවොත්, ඔහු අතින් ලියවෙනවා හරිම පරස්පර විරෝදී කතාවක්. ඒ පරස්පරතාවය හේතුවෙන් පුරුෂ ලොකය  බරපතල සමච්චලයකට ලක් කිරීමක් වෙනවා. මම දන්නේ නෑ සවිඥානිකවද, අවිඥානිකවද කියලා. මට හිතෙන්නේ පොත කියවන කොට ඒක රචකයාගේ අවිඥානිකව වෙච්ච හෙලිදරව් වීමක් කියලා.

මේකේ ප්‍රධාන චරිතය කඩියා තමන්ගේ මිත්‍ර සමාගමය එක්ක මුල් කාලේ අසභ්‍ය පත්තර බලපු, නිල් චිත්‍රපට බලපු, බලමින් ඉන්න චරිතයක් විදිහට තමා ගේන්නේ.  එතකොට අපිට එන අදහස තමා කඩියා මේ Magazine / Porn Video හරහා Sex කියලා මිනිස්සු කරන යම් ක්‍රියාවක්  ඔහු දන්නවා කියන එක... එතකොට Porn video දාස් ගාණක් බලපු, magazine වලින් ලිංගික දැණුමෙන් පරතෙරට ගියපු මේ කඩියාට සැබෑ ලෙස සිදුවූ ලිංගික ක්‍රියාවක් තේරුම් ගැනීමට බැරි වීම ගැන ඔහු කතා කරනවා. 
පිරිමියාගේ ප්‍රායෝගික ලිංගිකමය නොදැනුවත් භාවය 
ඔහු එලි කරනවා. (හෝ ඔහු අතින් එලි වෙනවා) 26 පිට කියවෙනවා නෝනේයි, නැන්දා අයියයි බඩවැටියේ sex කලා කියන එක කඩියාට තේරෙන්නේ නෑ... ඒ වගේම .අළුත් අවුරුදු කෑම මේසය උඩ ආපහු  නෝනේයි, නැන්දා අයියයි sex කරනවා දකිනවා. ඒකත් කඩියාට තේරෙන්නේ නෑ. කඩියා අහනවා ඒ දෙන්නගෙන් මොකද මේ වෙලා තියෙන්නේ කියලා.(187 පිට) නන්දෙ අයියා නෝනෙගේ ඇග උඩ වැරදිලා වැටුනා කියලා නන්දේ අයියා කියන චරිතය කඩියාට පැහැදිලි කරල කියනවා. කඩියා ඒ කතාව ඇත්ත කියලා හිතලා ප්‍රතිචාර දක්වනවා.

magazine වලින්, ඒ වගේම Porn video දාස් ගාණකින් ස්ත්‍රී ලිංග දාස් ගානක් දැකලා තියන මේ කඩියාට නොනේගේ සැබෑ ස්ත්‍රී ලිංගය දැක්කාම වෙන කෙලවිල්ල ඔහු කතා කරනවා. (72 පිටුව) මේක ලාංකීය පුරුෂයා සම්භන්ධයෙන් ඉතාම වැදගත් පුරුෂ කියවීමක්, සහ හෙලිදරව්වක්. ස්ත්‍රී ලිංගයක් පුරුෂ ලෝකයට මොනතරම් මැජික් එකක්ද කියලා ඔහු හෙලි කරනවා.
 
ඝණ අන්දකාරයෙහි වූ දැවැන්ත කළුවර ආඝාධයක් ඔහුව ඩැහැගනු පිණිස ඔහු ඉදිරියේ නලියමින්, පොපියමින් වෙහෙසිණ. එනයින් කඩියා භීතියට වඩා භීතියකින් ගියේ; ත්‍රාසයට වඩා ත්‍රාසයකින් ඇවිලී ගියේ. මෙම වෙව්ලීම, ඇවිලීම ඔහු තුල වඩ වඩාත් උත්සන්න වන අතරේය මුව පුරා පතල වී දස දෙස සුපතල වූ ඔහුගේ කට කොන සිනහව ඉන් අතුරුදහන්ව දැවැන්ත කළුවර ආගාධයකට ඇද වැටුණේ. භීතියෙන්, ත්‍රාසයෙන් ඔහු තව තවත් ඇවිලී ගියා ඉත්බිත් නිමේෂයේ.
 
ඔය වගේ අතරින් පතර එන Sex කතන්දර කීපයක් තියෙනවා. නමුත් ඔහු කියන පුරුෂ ලිංගික ෆැන්ටසියේ වෙනස්වීම ගැන ගේන දේ මටනම් මේ පොත හරහා අහු වුනේ නෑ. සමහර විට ඔහු පාවිච්චි කරලා තියන වචන හරඹය නිසා වෙන්නත් පුලුවන්.. පොතේ බොහෝ තැන් වල මම අතරමන් වුනා.. කපුගේගේ සිංදුව වගේ වගේ මංමුලා වී, පාර අසාගෙන, හසරක් සොයාගෙන පොත අවසන් වෙනකම්, මේ පොතේ කඩියා වගේම මටත් යන්න වුණා.

සාහිත්‍යෙය්දී රචකයා පාථකයා එක්ක ගණුදෙනු කරන්නේ වචන වලින්. වචන එක්ක කරන හරඹයක් තමා එතන තියෙන්නේ. අපි දන්නවා වචන කියන්නේ මානව සන්නිවේදනයෙන් 10% යි. එතකොට සාහිත්‍යෙය්දී මේ 10% පාවිච්චි කරලා තමා රචකයා මේ වැඩ ටික ඔක්කොම දාන්නේ.
ඒ වගේම ප්‍රභාත්ගේ මේ වචන හරඹ වල සමාන කමක් තියෙනවා අපේ සාහිත්‍යෙය් මුල් යුග වලට.  ජාතක කතා / අට්ඨ කතා/ පිටක එහෙම කියනවලා තියන අය මාත් එක්ක එකග වෙනවා ඇති.

ඒ වගේම මම දැක්ක ප්‍රභලම විශේෂත්වය තමා ඔහු visual media වල පාවිච්චි කරන රූප ලිඛිත භාෂාවට ගේන්න උත්සාහ අරන් තියෙනවා පොත පුරාම නොනවත්වා දිගින් දිගයම. දෙමළ චිත්‍රපට වල, Animation වල, ඉන්දියානු මෙගා ටෙලි නාට්‍ය වල පාවිචිච කරන Camera shots / Angles / Graphic effects ඔහු පාවිච්චි කරනවා ලිඛිත භාෂාවෙන් දිගින් දිගටම අසාමාන්‍ය ප්‍රමාණයක්. Film ඩිරෙක්ටර් කෙනෙක් පොතක් ලියලා වගේ හැගීමක් මට ආවේ...

උදාහරණ ලෙස කියනවා නම්,
Extreme close up
යුධ අධිකාරී අභිමානයෙන් පසුවන නගර වැසියෙකුගේ අහම්බ ඇසක ප්‍රතිබිම්බයෙන් ඔහු දුටුවා ස්වකීය සිරුරෙහි ඉදිවූ මෙම නවතම රුධිර කුහරයෙන් තව තවත් රුධිරය බුර බුරා වහනය වන බැව්.

ඒ වගේම Visual effects දිගින් දිගටම පොත පුරාම නැවත නැවත ඔහු භාවිතා කරනවා ඉතාම සුළු දෙයක් ගැන කියන් වුනත්.

අපි සාමාන්‍ය ව්‍යවහාරයේ මේවට කියන්නේ  gimmicks කියනලනේ. දිගින් දිගටම මේ gimmicks වලින් ඉතාම සුලු සිද්දියක් පවා අනවශ්‍ය ප්‍රමාණයක් විස්තර කරන්න උත්සාහ කරලා තිවෙනවා දිගින් දිගටම.
 
මට මේ පොත කියවගෙන යනකොට මගේ මිත්‍ර නාට්‍යකරුවෙකුට වෙච්ච සිද්දියක් මතක් වුනා. මගේ මිත්‍රයා කරපු නාට්‍යක් බලන්න ආවා තවත් නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. මගේ මිත්‍රයා නාට්‍ය ඉවර වෙලා ඒ අධ්‍යකෂවරයගෙන් ඇහුවා කොහොමද මගේ නාට්‍ය කියලා. අර නාට්‍ය අධ්‍යක්ෂවරයා  කිව්වා,
All the gimmicks -   No Natya...
comment එකේ No Natya කියන එක ප්‍රභාත්ගේ පොතට ගෙනත් No Novel කියලා කියන්න නෙමේ මම මේ හැදුවේ. සමරු කියනවානේ මේවා නවකතාද? මේවා නාට්‍යද? මේවා චිත්‍රපටද? වගේ කතා. ඒ වගේ කතා වලට මම සම්පූර්ණෙන් විරුද්ධයි. මමත් නිර්මාණ කරන්න උත්සාහ කරන කෙනෙක්. නිර්මාණ වලට සම්භන්ධ කෙනෙක්.. මෙතෙක් නොතිබුන දෙයක් නිර්මාණය කිරීම තමා නිර්මාණකරුවෙකුගේ කාර්‍ය මම හිතන විදිහට..

ඒ නිසා මේක අලුත් විදිහක ලියවිල්ලක් විදිහට තමයි මම හදුනා ගන්නේ...

නමුත් ඒ comment එකේ මුල් කෑල්ල මේ පොත එක්ක ගැලපෙනවා කයලා මට කියන්න වෙනවා..  
All the gimmicks...!!!




No comments:

Post a Comment