ඔබ කවදාහරි ලිංගික හින්සනයකට ලක් වෙලා තියෙනවාද? ඒ වගේ ප්‍රශ්ණෙකට
ලංකාවේ ගැහැණුන් ලබා දෙන හරිම ජනප්‍රිය උත්තර ටිකක් තියෙනවා.“ආපෝ මටනම් කවදාවත් එහෙම දෙයක් වෙලා නෑ. මගේ දෙමව්පියෝ මාව වැදගත් විදිහට
හදලා තියෙන්නේ”
“මම ශක්තිමත්
කෙනෙක්. ඒ නිසා මටනම් මට එහෙම දේවල් කවදාවත් වෙලා නෑ”
“අපි හොදනම් අපිට කාගෙන්වත් කිසිම කරදරයක් වෙන්නේ නෑ”
එතකොට ඉහත පිළිතුරු
අනුව ලිංගික හින්සන වලට ලක්වෙන ගැහැණුන් දුර්වල ගැහැණුන් විය යුතුයි. නැතිනම්
අම්මලා, තාත්තලා හොදට හදලා නැති හෝ අවිනීත, අසංවර ගැහැණුන් විය යුතුයි කියලා තමයි අපිට හිතන්න වෙන්නේ. ඒත් ඕනම කෙනෙක්
දන්නවා ඇත්ත හේතුව ඒ එකක්වත් නෙමෙයි කියලා. එහෙම අත්දැකීමකට ගැහැණියෙකුට මූණ දෙන්න වෙන එකට එකම හේතුව ලිංගික පීඩකයෙක්
ඇය අසල සිටීම විතරයි. ගොඩක් වෙලාවට ගැහැණුන් ප්‍රසිද්ධියේ උත්තර දෙන්න
ලැජ්ජාවෙන, බයවෙන ප්‍රශ්ණයක් තමයි ඉහත ප්‍රශ්ණය. එහෙම නැතිනම් කතා
කරන්න අකමැති ක්ෂේත්‍රයක්. ඒ වගේම බොහෝ අයගේ ප්‍රතිචාර දැක්කාම ලිංගික හිංසනයක් කියලා කියන්නේ මොනවාද
කියලා ඒ ගැහැණුන් දන්නවද කියන ප්‍රශ්ණයත් අපට එනවා.
තොරතුරු හොයලා
බැලුවම පේන විදිහට නම් ගැහැණු විතරක් නෙමේ සමාජයම මේ ගැන දැනුවත් නෑ හෝ මේවා හංගගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා කියන එක තමයි පේන්න තියෙන්නේ. මොකද සමීක්ෂන වාර්තා වලින් ලංකාවේ ගොඩක් ස්ත්‍රීන්
ලිංගික හින්සන වලට ලක් වෙනවා කියලා පේන්න තිබුනට ඒවාට නීතිමය ක්‍රියාමාර්ග අරගෙන
තියෙන්නේ ඉතාම සුලු ප්‍රමාණයක් විතරක් නිසා. පහුගිය දවසක පොදු ප්‍රවාහන පාවිච්ච්
කරන ගැහැණුන්ගෙන් 90% ක් ලිංගික හින්සනයන්ට මූණ දෙනවා කියලා හෙලි
වුනා. ඊට අමතරව මහමගදී, කඩපොලේදී, රැකියා ස්ථාන වලදි විතරක් නෙමේ පවුල් ඇතුලේ, විවාහ ඇතුලේ කාන්තාවෝ මූණ දෙන ලිංගික හිංසන කොයිතරම් ඇතිද? එදිනෙදා ජීවිතේදී සිද්දවෙන එවැනි හිංසනයන් අපි අදුරගන්න එක හරිම වැදගත්.
මොකද මේවාට එරෙහිව ක්‍රියාමාරග ගන්න නම් අපි ඒවා ගැන දැනගෙන ඉන්න ඕන නිසා.
ලිංගික ස්වරූපයේ
ස්පර්ෂ කිරීම් එහෙම නැතිනම් සිතා මතාම ශරීර කොටස් ස්පර්ශ කිරීම, අවයව ශරීරයේ
ඇතිල්ලීම, පෞද්ගලික අවකාශ සීමාව ඉක්මවලා ලං වීම, අයෝග්‍ය ලිංගික ආකාරයේ හැසිරීම්, කාමුක ලෙස බැලීම, ශරීර කොටස් දිහා බලා ඉදීම, සිතාමතා කකුල පෑගීම, දුරකතන අංකය ඉල්ලීම ආදී දක්වා ලිංගික හිංසන විදිහට වර්ග කරන්න කරන්න
පුලුවන් ක්‍රියාවන් 35 විතර මේ වෙනකොට හදුනාගෙන තියෙනවා. ඒ වාගෙම හැම වෙලාවෙම
ලිංගික හිංසනයක් සිදු වෙන්නේ ශාරීරිකව විතරක් නෙමෙයි. මානසිකව සිදුවෙන ලිංගික
හින්සනයන් පවා තියෙනවා.
මෙවැනි හින්සනයක්
අපිට සිදුවුනොත් අපිට කරන්න පුුලුවන් ප්‍රධාන දේවල් තමයි අහල පහල ඉන්න අයගෙන් උදව්
ඉල්ලීම හෝ වගකිවයුතු, තමන් වෙනුවෙන් පෙනී ඉන්න පුලුවන් කෙනෙකු දැනුවත් කිරීම. ඒ වගේම තව කෙනෙකුට
එවැනි දෙයක් සිදුවෙනවා දැක්කොත් ඔබට හැකි පමණ ඒ කෙනාට උදව් කරන්න ඉදිරිපත් වෙන
එකත් ඔබගේ යුතුකමක්. මොකද එවැනි දෙයකට ලක්වෙන කෙනා වෙනුවෙන් පෙනී ඉන්න එකෙන් ඒ
වැරැද්ද තවත් වෙන එක නවත්තගන්න පුලුවන් වෙනවා. හින්සනයට ලක්වෙච්ච කෙනා එ්ක හංගගෙන
ජීවත් වෙන එක නවත්තන්නත් ඒක උදව්වක් වෙනවා. මොකද අද තව කෙනෙකුට වෙන දෙයක් හෙට ඔබට
හෝ මට වුනත් වෙන්න පුලුවන්.ලංකාවේ ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවේ 12(2)වන වගන්තියෙන් “කිසිම පුරවැසියෙකු ස්ත්‍රී පුරුෂ භේධය කියන හේතුව මත වෙනස්කමකට හෝ විශේෂයකට
හෝ භාජන නොවිය යුතුයි
කියලා සදහන් වෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 1995 අංක 22 දරණ සංශෝධන පනතේ 345
කොටසට අනුව ලිංගික හින්සනය දඩුවම් ලැබිය හැකි සාපරාදී වරදක් විදිහට හදුන්වලා
තියෙනවා.
ලිංගික හිංසනයකදී
ඔනෑම කෙනෙකුට නීතිමය ක්‍රියා මාර්ග අරගන්න පුලුවන් නීති ලංකාවේ තියෙනවා වුනත් නීතියෙන්
ඔයවගේ ප්‍රශ්ණ විසදගන්න ගියාම ශාක්ෂි ඕනෑ වෙනවා කියන එක අපි දන්නවානේ. ඒ වගේම
ලිංගික අතවර කරලා ඒක එලි වුනාම තමන් ඒක කලේ නෑ කියලා ඔප්පු කරන්න තමයි ඕනෑම
හින්සකයෙක් මුලින්ම උත්සාහ කරන්නේ. ඒ නිසා සිද්දිය දැක්ක අයගේ උදව් ඉල්ලනවට අමතරව
කරන්න පුලවන් තව දෙයක් තමයි වහාම ඒ සිදුවීමේ ඡායාරූපයක් හරි වීඩියෝ එකක්හරි අරගන්න
එක. දැන් හැමෝගෙම අතේ ස්මාට් ෆෝන් තියෙන නිසා ඒක හරිම ලේසියෙන් කරන්න පුලුවන්
දෙයක්. “අනේ මටනම් කවදාවත් වෙලා නෑ” කිය කිය අනිත් අයට වෙනවා දැක දැකත් නොදැක්කා වගේ ඉදලා අන්තිමටම තමන්ටම
එහෙම දෙයක් වෙනකම් ඉන්නේ නැතිව අපි හැමෝම ලිංගික හිංසනය නැවැත්වීමට එකතුවෙමු.
ලංකා බණ්ඩාරනායක.24.06.2018 මව්බිම "යං" අතිරේකයේ පලවූ ලිපියකි.https://www.facebook.com/MawbimaYoung/photos/a.1721094154869556.1073741828.1718544158457889/2000802330232069/?type=3&theater
x